සයුරෙන් එතෙර
පාකිස්තානයේ මාධ්‍යවේදීන්ගේ ගමන් බිමන් ගැන එරට ආණ්ඩුව අවධානයෙන්
August 11, 2026 05:47 pm
පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන විදේශීය මාධ්‍ය ආයතන සඳහා නව සීමා පැනවීමට එරට රජය පියවර ගෙන තිබේ.
ප්‍රථමවරට එම මාධ්‍ය ආයතනවල සේවය කරන පාකිස්තාන ජාතිකයන්ගේ ගමන් බිමන් ද පාලනය කිරීමට මෙමගින් කටයුතු කර ඇති බව පැවසෙයි.
මෙම නව සීමාකිරීම් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර, ඉස්ලාමාබාද්, ලාහෝර් සහ කරච්චි යන ප්‍රධාන නගරවලින් පිටත සංචාරය කිරීම සඳහා පාලනයන්ට යටත් වූයේ විදේශීය ජාතික මාධ්‍යවේදීන් පමණි.
නමුත් නව නීතිරීතිවලට අනුව, විදේශීය මාධ්‍ය ආයතනවල සේවය කරන පාකිස්තාන ජාතික මාධ්‍යවේදීන්, සහායකයන් සහ සෙසු සේවකයන්ට ද එම ප්‍රධාන නගර තුනෙන් පිටත සංචාරය කිරීමට සහ වාර්තාකරණයේ යෙදීමට රජයේ පූර්ව අවසරය ලබාගත යුතු අතර, ඔවුන් රජය වෙත ලියාපදිංචි වීම ද අනිවාර්ය වෙයි.
පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ හටගෙන ඇති විරෝධතා සහ බටහිර පළාත්වල වර්ධනය වන කැරලිකාරී තත්ත්වයන් මධ්‍යයේ මෙම පියවර ගෙන තිබුණද, මෙම නව සීමාකිරීම් සඳහා ක්ෂණික හේතුව කුමක්දැයි පාකිස්තාන බලධාරීන් මෙතෙක් අනාවරණය කර නොමැත.
