ඉන්දියන් සාගරයට ප්‍රවේශ වීමට රුසියාව ගොඩබිම් මාර්ගයක් ගැන අවධානයෙන් 
සයුරෙන් එතෙර

ඉන්දියන් සාගරයට ප්‍රවේශ වීමට රුසියාව ගොඩබිම් මාර්ගයක් ගැන අවධානයෙන් 

August 11, 2026   11:25 am

රුසියාව ඉන්දියන් සාගරයට ප්‍රවේශ වීම සඳහා විකල්ප දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එහිදී ප්‍රධාන සම්බන්ධකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇෆ්ගනිස්ථානයට පවතින බවත් රුසියානු නියෝජ්‍ය අගමැති පවසා තිබේ.

රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති වියහැකි අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ දකුණු ආසියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා රුසියාව විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. 

ඒ අනුව ටර්ක්මෙනිස්තානය, ඉරානය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය හරහා රුසියාව ඉන්දියාවට සම්බන්ධ කරන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම මීට එක් විකල්පයක් විය හැකි බව ඔහු පෙන්වාදී ඇත.

මෙම යෝජනාවට අනුව, ඇෆ්ගනිස්ථානයේ පවතින භූගෝලීය පිහිටීම නිසා මධ්‍යම ආසියාව, ඉරානය සහ පාකිස්තානය යා කෙරෙන ප්‍රවාහන කොරිඩෝවක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව හිමි වෙයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත්, ඇෆ්ගනිස්ථානයේ දුම්රිය ජාලය කලාපීය ප්‍රවාහන ජාලයන් සමඟ සම්බන්ධ වීමටද මග පෑදෙනු ඇත.

මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරුණ හොත් ඇෆ්ගනිස්තානයේ භූ-ආර්ථික වැදගත්කම තවදුරටත් ඉහළ යන බවද විදෙස් මාධ්‍ය පවසයි. 

භූ-දේශපාලනික වෙනස්කම් හමුවේ මුහුදු මාර්ග මත තබන පදනම අවම කරගනිමින්, දකුණු දෙසට දිවෙන ගොඩබිම් සහ දුම්රිය ප්‍රවාහන මාර්ග සංවර්ධනය කිරීමට රුසියාව මෑත වසරවලදී වැඩි අවධානයක් යොමු කර තිබේ.