සයුරෙන් එතෙර

දැවැන්ත ව්‍යාපෘතියකට සැරසෙන ඉන්දියාව 

August 5, 2026   04:57 pm

කලාපීය භූ-දේශපාලනික වාතාවරණයේ සිදුවන වෙනස්වීම් හමුවේ සිය උපායමාර්ගික යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඒ අනුව චීනය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලට මායිම්ව පිහිටි දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම සඳහා ඉන්දියානු රුපියල් බිලියන 450ක (අ.ඩො. බිලියන 4.7ක්) දැවැන්ත ආයෝජනයක් කිරීමට ඉන්දියානු රජය සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි මාස 18ත් 24ත් අතර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ පන්ජාබ්, බටහිර බෙංගාලය, හිමාචල්, රාජස්ථාන් ඇතුළු ඊසානදිග ප්‍රාන්ත කිහිපයකම නව දුම්රිය මාර්ග ඉදිකිරීම, දුම්රිය ස්ථාන වේදිකා වැඩිදියුණු කිරීම සහ දුම්රිය ජාලයන් බලගැන්වීම සිදු කිරීමට නියමිතය.

මෙම විශේෂ දුම්රිය සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති මුදල, ඉදිරි වසර දෙක තුළ ඉන්දියාවේ සමස්ත දුම්රිය යටිතල පහසුකම් සඳහා වෙන් කිරීමට නියමිත මුළු ප්‍රතිපාදනවලින් 22%ක් තරම් ඉහළ අගයක් ගනී.