ඉන්දු  - බ්‍රිතාන්‍ය නව වෙළෙඳ ගිවිසුමේ වාසි
සයුරෙන් එතෙර

ඉන්දු - බ්‍රිතාන්‍ය නව වෙළෙඳ ගිවිසුමේ වාසි

July 17, 2026   09:00 pm

ඉන්දු - බ්‍රිතාන්‍ය රජයන් අතර එළඹි නව වෙළෙඳ ගිවිසුම ඉකුත් බදාදා සිට නිල වශයෙන් බලාත්මක වූ අතර, ඒ යටතේ භාණ්ඩ වර්ග දහස් ගණනක තීරුබදු කපා හැරීමටත්, දෙරටේම සේවා සපයන ආයතන හා වෘත්තිකයන් සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමටත් පියවර ගෙන ඇත.

ඉන්දු - බ්‍රිතාන්‍ය පුළුල් ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම මගින් ඉන්දියානු අපනයනකරුවන්ට බ්‍රිතාන්‍යයේ බදු කාණ්ඩ බහුතරයක් සඳහා තීරුබදු රහිතව ප්‍රවේශවීමේ අවස්ථාව හිමිවෙයි. 

මෙයින් රෙදිපිළි, සම්භාණ්ඩ, පාවහන්, සාගර නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම සකස් කළ ආහාර යන ක්ෂේත්‍රවලට ඉහළ ප්‍රතිලාභ අත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, අදියර කිහිපයකින් සිදු කෙරෙන බදු අඩු කිරීම් සහ සහන කෝටා ක්‍රමවේද හරහා ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධානතම ආර්ථිකයකට ඇතුළු වීමට බ්‍රිතාන්‍යයට ද වැඩි ඉඩකඩක් විවර වෙන බව ඉන්දියාව පවසයි. 

ඒ අනුව මෝටර් රථ සහ රිදී වැනි ක්ෂේත්‍රවලට මෙන්ම ප්‍රසම්පාදන, මූල්‍ය සේවා, අධ්‍යාපන, රක්ෂණ සහ වෘත්තීය සේවා ක්ෂේත්‍ර සඳහා ද ඉන්දීය වෙළෙඳපොළ මෙලෙස විවෘත වනු ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 'X' සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම වෙළෙඳ ප්‍රඥප්තිය සහ ඊට සමගාමී සමාජ ආරක්ෂණ ගිවිසුම මගින් දෙරටේ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර ඉන්දියාවේ ගොවීන්ට, ව්‍යවසායකයින්ට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට "නව ජවයක්" ලැබෙනු ඇති බවය.