සයුරෙන් එතෙර
ඉන්දු - බ්‍රිතාන්‍ය වෙළෙඳ ගිවිසුම බලාත්මක වෙයි
July 16, 2026 02:44 pm
ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කළ ‘විස්තීරණ ආර්ථික හා වෙළඳ ගිවිසුම’ (CETA) නිල වශයෙන් බලාත්මක කර ඇත.
දැනට ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර පවතින වෙළඳ පිරිවැටුම අමෙරිකානු ඩොලර් බිලියන 55ත් 60ත් අතර අගයක පවතී.
මෙහි ඉලක්කය වන්නේ ඉදිරි වසර 3-4 ඇතුළත මෙම අගය අමෙරිකානු ඩොලර් බිලියන 100 දක්වා රැගෙන යාමය.
මෙම නව වෙළඳ ගිවිසුමට අනුව, ජූලි 15 වැනිදා සිට ඉන්දියාවේ නිෂ්පාදිත රෙදිපිළි, සම්භාණ්ඩ සහ පාවහන්, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදන කිසිදු බදු අය කිරීමකින් තොරව බ්‍රිතාන්‍ය වෙළඳපොළට අපනයනය කිරීමට අවස්ථාව හිමිවෙයි.
කෙසේ වුවද, සංවේදී මෙන්ම දේශීය වශයෙන් වැදගත් වන කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහන සහ සහනදායී මිල ගණන් යටතේ පවතින විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයන් මෙම ගිවිසුම යටතේ තවදුරටත් ආරක්ෂා කර ඇති බව ඉන්දියාව පවසයි.
මෙම ආරක්ෂණ ක්‍රමවේදයන් හේතුවෙන් ඉන්දීය වාහන නිෂ්පාදකයින්ට තමන්ගේ නිෂ්පාදන ධාරිතාව, තාක්‍ෂණය සහ ගෝලීය තරඟකාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවකාශය සැලසේ.
මෙම ගිවිසුම යටතේ, එක්සත් රාජධානියෙන් ආනයනය කරනු ලබන රිදී සඳහා ආනයන බදු සහන ලබාදීමට ද ඉන්දියාව පියවර ගෙන ඇත.
