සයුරෙන් එතෙර
ඇෆ්ගන් සරණාගතයින් ගැන UNHCR අවධානයෙන්
July 14, 2026 12:13 pm
පාකිස්තානයේ රැඳීසිටින ඇෆ්ගන් ජාතිකයන් සහ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) නැවත වරක් සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ඔවුන් නැවත සිය රට බලා යා යුත්තේ ස්වේච්ඡාවෙන්, ආරක්ෂිතව සහ ගෞරවාන්විතව පමණක් බව එම සංවිධානය අවධාරණය කරයි.
කෙසේවෙතත් පාකිස්තාන රජය විසින් නීතිවිරෝධී ලෙස රැඳීසිටින ඇෆ්ගන් වැසියන්ට රටින් පිටවීම සඳහා ලබාදී තිබූ අවසන් දිනය වූ ජූලි 10 වැනිදායින් පසුව, දේශසීමා හරහා නැවත ඇෆ්ගනිස්තානයට යන පිරිස සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව දේශසීමා වාර්තා පෙන්වා දෙයි.
නිලධාරීන්ට අනුව මෙය පසුගිය මැයි සහ ජූනි මාසවල පැවැති තත්ත්වයට වඩා තුන් ගුණයක පමණ කැපී පෙනෙන ඉහළ යෑමකි.
ඇෆ්ගන් වැසියන් මෙලෙස ආපසු හරවා යැවීමේදී ඔවුන්ගේ කැමැත්ත, ආරක්ෂාව සහ මානුෂීය ගෞරවය සුරැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසද UNHCR පාකිස්තාන රජයෙන් ඉල්ලා තිබේ.
