එංගලන්ත ටෙස්ට් පුහුණුකාරිත්වය යළිත් ඇන්ඩි ෆ්ලවර්ට?

එංගලන්ත ටෙස්ට් පුහුණුකාරිත්වය යළිත් ඇන්ඩි ෆ්ලවර්ට?

July 13, 2026   11:05 am

නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමග බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

ඒ අනුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස යළිත් වරක් ඇන්ඩි ෆ්ලවර් පත් කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

ඉන්දියාවට එරෙහිව සවුත්හැම්ප්ටන්හි පැවැති 5 වැනි විස්සයි20 තරගයට පෙර, බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකාරිත්වයෙන් ඉවත් කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ගෝල්ඩ් ප්‍රකාශ කර ඇත්තේ, පුහුණුකරු තනතුර සඳහා දැනටමත් සුදුසුකම් ලත් පුද්ගලයන් දස දෙනෙකුගේ පමණ ලැයිස්තුවක් තමන් සතුව ඇති බවයි. 

කෙසේ වෙතත්, දැනට IPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඇන්ඩි ෆ්ලවර් එම ලැයිස්තුවේ පෙරමුණේ සිටින බව වාර්තා වේ.

නව එකඟතාවන් අනුව ෆ්ලවර්ට IPL තරගාවලියේ මෙන්ම එංගලන්ත කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. 

එමඟින් ඔහුට RCB කණ්ඩායමේ සිය භූමිකාව රඳවා ගනිමින්ම, යළිත් එංගලන්ත පුහුණුකරු තනතුරට පිවිසීමට දොරටු විවර වනු ඇත.

මීට පෙර 2009-2014 කාලය තුළ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් සාර්ථක වගකීමක් දැරීය.

ඔහුගේ මඟපෙන්වීම යටතේ එංගලන්තය ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර, ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීමටද සමත් විය.

ඉන් අනතුරුව විවිධ විදෙස් විස්සයි20 ලීග් තරගාවලි නියෝජනය කරමින් කැපී පෙනෙන පුහුණුකරුවෙකු බවට පත් වූ ඔහු, RCB කණ්ඩායම සමග සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේය. 

එමෙන්ම මේ මස අගදී ආරම්භ වීමට නියමිත The Hundred තරගාවලියේ London Spirit කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ඔහු කටයුතු කිරීමට නියමිතව ඇත.