සයුරෙන් එතෙර
මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
July 9, 2026 09:15 am
නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට අගමැති ඇන්තනී ඇල්බනීසි හමුවී තිබේ.
වෙළඳාම, බලශක්තිය, තීරණාත්මක ඛනිජ, තාක්ෂණය සහ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දු - ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති අභිලාෂයන් මෝදි ඉස්මතු කළ ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටවල් 3ක සිදු කරන සංචාරයේ දෙවැනි අදියර සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට මෙලෙස පැමිණ තිබුණි.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම සංචාරය හරහා ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයට නව පණක් ලැබෙනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
මෙම හමුවට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මෝදි සඳහන් කර තිබුණේ, තම ඔස්ට්‍රේලියානු සගයා වන ඇන්තනී ඇල්බනීසි අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳව තමන් දැඩි අපේක්ෂාවෙන් පසුවන බවය.
එසේම, දෙරටේ සබඳතාවල ප්‍රධානතම ශක්තියක් බඳු ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවී අදහස් හුවමාරු කර ගැනීමටද මෙම සංචාරයේදී තමන්ට අවස්ථාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
