පැරගුවේ පරදා අමෙරිකාවට සුපිරි ජයක්
June 13, 2026 09:23 am
FIFA ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දක්වන ප්‍රබල අමෙරිකානු කණ්ඩායම, තම ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.
'D' කාණ්ඩයේ තරගයක් ලෙස මෙරට වේලාවෙන් අද (13) උදෑසන අවසන් වූ මෙම තරගය ප්‍රේක්ෂකයින් 70,000කට වැඩි පිරිසකට අසුන්ගත හැකි සුප්‍රසිද්ධ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ක්‍රීඩාංගණය පුරා තදබදව සිටි දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ අත්පොඩි සහ ඔල්වරසන් මැද තරගය ආරම්භයේ සිටම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
තරගය ආරම්භ වී මිනිත්තු 7ක් වැනි කෙටි කාලයක් ගතවන විටම ක්‍රියාත්මක වූ අමෙරිකානු ඉදිරිපෙළ ක්‍රීඩක ඩේමියන් බොබඩිල්ලා, ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල බිඳදමමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය.
ඉන් නොනැවතුණු අමෙරිකානු පසුපෙළ සහ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ සුසංයෝගය මනාව ප්‍රදර්ශනය කරමින්, තරගයේ 31වැනි මිනිත්තුවේදී සහ පළමු අර්ධයේ අතිරේක කාලයේදී (45+5 මිනිත්තුවේදී) අගනා ගෝල දෙකක් කණ්ඩායමට එකතු කිරීමට ෆොලරින් බැලෝගන් සමත් විය.
මේ හේතුවෙන් පළමු අර්ධය නිමාවන විටම තරගයේ පාලනය තමන් සතු කරගැනීමට සත්කාරක අමෙරිකානුවන්ට හැකි විය.
සමස්ත තරගය පුරාම ගෝලයක් ලබාගැනීමේ දැඩි පිපාසයකින් පසු වූ පැරගුවේ කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන දෙමින්, තරගයේ 73වැනි මිනිත්තුවේදී මොරිසියෝ විසින් ගෝලයක් වාර්තා කරන ලදී.
ඒ අනුව තරගයේ තත්ත්වය ගෝල 3-1ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, තරගය පුරාම පැරගුවේ ආරක්ෂක වළල්ලට දැඩි පීඩනයක් එල්ල කළ අමෙරිකානු ක්‍රීඩකයෝ තරගයේ අවසන් තත්පරය දක්වාම තම ආධිපත්‍යය අත්හැරියේ නැත.
තරගයේ අවසන් මිනිත්තුවේදී (90+8) තවත් සුපිරි ගෝලයක් වාර්තා කරමින් ගෝල 4-1ක් ලෙස තරගයේ විශිෂ්ට අවසානයක් සලකුණු කිරීමට සත්කාරකයන් සමත් විය.
අමෙරිකාව ලැබූ මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 15වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.
පැරගුවේ බලාපොරොත්තු නොවූ මෙම දරුණු පරාජය හේතුවෙන් ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 42වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.
