ඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශයට ඓතිහාසික තරගාවලි ජයක්

ඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශයට ඓතිහාසික තරගාවලි ජයක්

June 11, 2026   11:15 pm

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී අද (11) පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ, තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තරගාවලිය ජය ගැනීමට බංග්ලාදේශයට හැකිවිය. 

මෙය වසර 23ක බංග්ලාදේශ - ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ ඔස්ට්‍රේලියාවට එරෙහිව බංග්ලාදේශය ලැබූ ප්‍රථම එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්විය.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තරගය එක් ඉනිමක පන්දුවාර 42කට සීමා කිරීමට විනිසුරුවන් පියවර ගත්හ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 187ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 35ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 195ක් ලබා ගනිමින් ඉතා පහසුවෙන් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයද බංග්ලාදේශය ජයගෙන තිබුණි.