මැද පෙරදිග සටන් විරාමය බිඳවැටෙන ලකුණු - ඉරාන තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

මැද පෙරදිග සටන් විරාමය බිඳවැටෙන ලකුණු - ඉරාන තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක්

April 9, 2026   06:31 am

ඉරානයේ ලාවාන් තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය පවසයි. 

ඉරානයේ දකුණු වෙරළේ සිරී දූපතේ පිහිටි අදාළ තෙල් පිරිපහදුවට එල්ල වු ප්‍රහාරයෙන් එම පිරිපහදුව ගිනිගෙන ඇති බව වාර්තා වේ. 

මෙම ප්‍රහාරය ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් හෙළා දැක තිබේ. 

ඔහු පවසන්නේ, මෙම ප්‍රහාරයත් සමඟ සටන් විරාමය උල්ලංඝණය කිරීම් කිහිපයක්ම සිදුව ඇති බවය.

මැද පෙරදිග පැවති ගැටුම් නතර කිරීම සඳහා සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබිය දී ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 250කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. 

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ස්ථාන 100කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. 

එහිදි පුද්ගලයින් 254 දෙනෙකු පමණ මියගොස් තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අංශ පවසයි.

ලෙබනනයට ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමූද්‍ර සන්දිය යළි වසා දැමීමට ඉරානය පියවර ගත්තේය.

සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ හෝමුස් සමූද්‍ර සන්ධිය නැව් ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර ලෙබනනට එල්ල වූ දරුණු ප්‍රහාර හමුවේ එය යළිත් වසා දැමීමට තීරණය කළ බව ඉරානය ප්‍රකාශ කර ඇත.