පාකිස්තානයත් ඉන්ධන ඉතිරි කරයි
සයුරෙන් එතෙර

පාකිස්තානයත් ඉන්ධන ඉතිරි කරයි

March 20, 2026   08:07 pm

ඉන්ධන පිරිමැසීමේ පියවර අනුගමනය කරන ලෙස පාකිස්තානය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුමට ඉදිරි දිනවලදී ඇතිවිය හැකි බලපෑම් වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි. 

ඉස්ලාමාබාද් නුවරදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකින් අනතුරුව නිකුත් කරන ලද නිල නිවේදනයක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

එහිදී මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන පිරිමැසීමේ ක්‍රියාමාර්ග පිළිබඳවද සමාලෝචනය කර තිබේ.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන යුද්ධය හේතුවෙන් මතුවූ තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තාන රජය පෙර නොවූ විරූ අරපිරිමැසුම් ක්‍රියාමාර්ග හඳුන්වාදෙමින් තිබේ.

මෙම යුද්ධය නිසා පාකිස්තානය ඇතුළු කලාපයේ රටවල් රැසකට බලපෑම් ඇති කරන ගෝලීය තෙල් අර්බුදයක් නිර්මාණය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හැර අනෙකුත් රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩලයෙන් 50%ක් නිවසේ සිට වැඩ කරන අතර ඉන්ධන පිරිමැසීම සඳහා රජයේ සේවකයන්ට සතියකට දින 4ක් පමණක් සේවයට වාර්තා කරන ලෙසද උපදෙස් දී ඇත.

නිල වාහන සඳහා ලබාදෙන ඉන්ධන දීමනාව ද 50%කින් කප්පාදු කර ඇති බව පැවසෙයි.