සයුරෙන් එතෙර
නවසීලන්ත ගුවන් සේවය ගුවන්ගමන් 1,100ක් අත්හිටුවයි
March 12, 2026 04:57 pm
මැද පෙරදිග යුදමය තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි මාස 2ක තුළ ගුවන්ගමන් 1,100ක් අවලංගු කරන බව නවසීලන්ත ජාතික ගුවන් සේවය අද (12) නිවේදනය කර තිබේ.
එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් පවසා ඇත්තේ, තම ගුවන් ගමන්වලින් 5%ක් පමණ අවලංගු කිරීමට සිදුවන බවත්, එමඟින් මගීන් 44,000කට බලපෑම් එල්ලවන බවත්ය.
අවලංගු කරන ලද ගුවන්ගමන්වලින් බහුතරය දේශීය ගුවන්ගමන් වන අතර, ජාත්‍යන්තර ගුවන්ගමන් කිහිපයක්ද ඒ අතර බව ඔහු පවසා තිබේ.
කෙසේ නමුත් යුරෝපය හා අමෙරිකාවට ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම කලාපයන්හි ගුවන්ගමන්වලට බලපෑමක් සිදු නොවන බව සඳහන්ය.
ඉන්ධන මිල ඉහළ යෑමත් සමග පසුගිය අඟහරුවාදා සිට නවසීලන්ත ජාතික ගුවන් සේවය සියලුම ගමනාන්තවල ටිකට්පත් මිල ගණන් ඉහළ දමා තිබේ.
