මැදපෙරදිග සිට චීන වැසියන් 10,000කට වැඩි පිරිසක් යළි මව්රටට
සයුරෙන් එතෙර

මැදපෙරදිග සිට චීන වැසියන් 10,000කට වැඩි පිරිසක් යළි මව්රටට

March 10, 2026   02:55 pm

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් අතරමංව සිටි චීන ජාතිකයන් 10,000 කට අධික පිරිසක් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට චීනය කටයුතු කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ගුවන් සීමා වැසී යාම සහ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් සහ සෞදි අරාබිය වැනි රටවල සිටි චීන වැසියන් මෙලෙස ගෙන්වාගෙන ඇති බව සඳහන් වේ.

මීට අමතරව, පසුගිය සතියවන විට ඉරානයේ සිටි චීන ජාතිකයන් 3,000 කට වැඩි පිරිසක් ද ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණි.

එමෙන්ම මීට සමගාමීව චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය සහ එරට විදේශ අමාත්‍යාංශය එක්ව එයාර් චයිනා සහ චයිනා සදර්න් එයාර්ලයින්ස් වැනි ප්‍රධාන ගුවන් සේවා මගින් සිය ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින චීනය, වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස අවධාරණය කර සිටියි.