පාකිස්තාන ජයෙන් පසු සුපිරි 8ටේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන සම්පූර්ණ වෙයි

පාකිස්තාන ජයෙන් පසු සුපිරි 8ටේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන සම්පූර්ණ වෙයි

February 18, 2026   07:02 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'A' කාණ්ඩය යටතේ අද (18) පස්වරුවේ පැවති තරගයෙන් නැමීබියාවට එරෙහිව ලකුණු 102ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානයටද අවස්ථාව උදාවිය. ඔවුන් මෙවර ලෝක කුසලානයේ සුපිරි 8ට අවසන් වශයෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම වේ.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 199ක් රැස්කළේය.

එහිදී ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් පන්දු 58කින් නොදැවී ලකුණු 100ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔහු අහ්මඩ් ශෙෂාඩ්ගෙන් පසු විස්සයි20 ලෝක කුසලානයකදී පාකිස්තානය වෙනුවෙන් ශතකයක් රැස්කළ පිතිකරුවා බවට පත්විය.

එමෙන්ම ෆර්හාන් සමගින් පැතුම් හා කැනඩාවේ යුව්රාජ් ශර්මා මෙවර ලෝක කුසලානයේ ශතක රැස්කර ඇත.

එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ එක් අදියරකදී පිතිකරුවෝ තිදෙනෙකු ශතක රැස්කළ පළමු අවස්ථාව විය.

අද තරගයෙන් පසු සුපිරි 8 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහනද සම්පූර්ණ විය.

ඒ අනුව එම වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය පෙබරවාරි 22දා එංගලන්තයට එරෙහිවද, පෙබරවාරි 25වනදා නවසීලන්තයට එරෙහිවද, පෙබරවාරි 28වනදා පාකිස්තානයට එරෙහිවද ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.