පාකිස්තානය තරගය වර්ජනය කළත් එදින ලංකාවට එනවා - සූර්යා
February 6, 2026 09:38 am
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට එරෙහිව මූලික වටයේ පැවැත්වෙන තරගය පාකිස්තානය වර්ජනය කළද, එදින (පෙබ. 15) එම තරගය පැවැත්වුවත් නැතත් තම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පවසයි.
ලෝක කුසලානයට අදාළව ඊයේ (5) මුම්බායිහි පැවැති නායකයන්ගේ හමුවේ දී කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා ඇත.
"අපි ඔවුන් සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේ නෑ. ප්‍රතික්ෂේප කිරීම පැමිණියේ ඔවුන්ගෙන් (පකිස්තානයෙන්). ICCය තරගය සංවිධානය කළා. ඉන්දීය ක්‍රිකට් (BCCI) සහ ඉන්දීය රජය ICC සමග සම්බන්ධීකරණයෙන් එම තරගය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට තීරණය කළා. ඒ අනුව කොළඹට යන අපගේ ගුවන්ගමනත් වෙන්කර තියෙන්නේ. ඒ නිසා අපි යනවා. පසුව පළමු මොකද වෙන්නේ කියලා".
එහිදී ඉන්දීය නායකයා පවසා ඇත්තේ, තම කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්වයෑම හැර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි යමක් පැවසිය නොහැකි බවය.
"ඔවුන්ගේ තීරණය මගේ පාලනයේ නැහැ. ඒ තීරණය මට ගන්න තිබුණා නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ඔවුන්ගේ තීරණය. අපිට කියලා තියෙනවා අපි 15 වෙනිදා ක්‍රීඩා කළ යුතුයි කියලා.
අපි ආසියානු කුසලානය ක්‍රීඩා කළා. ඔවුන්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. අපි දිනුවා, අපි සතුටු වුණා. ඒ වගේම කොළඹදී අපට නැවත අවස්ථාවක් ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රීඩාව කරනවා" යැයි පැවසීය.
