සයුරෙන් එතෙර
යුද්ධයට සූදානම් බව පවසමින් ඉරානයෙන් ට්රම්ප්ට සැර පිළිතුරක්
February 1, 2026 05:53 pm
අමෙරිකාව විසින් සිදුකරන ප්රහාරයක් මැදපෙරදිග කලාපයේ යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇති බවත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලාහ් අලි කුමෙනි පවසයි.
'1979 ඉරාන ඉස්ලාමීය විප්ලවය' සැමරීම සඳහා පැවැත්වෙන සැමරුම් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් ටෙහෙරානයේ අද (1) පැවති උත්සවයකදී ඔහු මේ බව පවසා තිබේ.
"මෙවර යුද්ධයක් දියත් කළහොත් එය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇති බව අමෙරිකානුවන් දැනගත යුතුයි.
අපි යුද්ධවලට පොළඹවන්නෝ නෙමෙයි, අපෙන් කිසිවෙකුට අසාධාරණයක් වෙන්නේ නෑ. අපි කිසිම රටකට පහරදීමට සැලසුම් කරන්නේ නෑ.
නමුත් යමෙකු කෑදරකම පෙන්වමින් අපට පහරදීමට හෝ හිරිහැර කිරීමට පෙළඹෙන්නේ නම්, ඉරාන ජාතිය ඔවුන්ට දැඩි පහරක් එල්ල කරනු ඇත" යනුවෙන් 86 හැවිරිදි අයතුල්ලා අලි කමේනියා තවදුරටත් පැවසීය.
රටපුරා පැවති විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට ප්රහාරයක් එල්ලකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා සිදුකළ ප්රකාශයත් සමග කාලාපය තුළ මේ වනවිට යුද උණුසුම උත්සන්න වී ඇත.
