ඉන්දු - ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරුන් කලාපයේ ගැටලු ගැන සාකච්ඡාවක 
සයුරෙන් එතෙර

ඉන්දු - ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරුන් කලාපයේ ගැටලු ගැන සාකච්ඡාවක 

November 21, 2025   12:43 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් අතර ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.

ඒ, ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරියගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීවය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ද්විපාර්ශ්වික හමුවේදී විදේශ අමාත්‍ය දෙපළ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ සමස්ත පරාසයම සමාලෝචනය කළ බවය.

එමෙන්ම දෙරට අතර වෙළඳාම, ආයෝජන, ආරක්ෂක, අධ්‍යාපනය සහ කුසලතා, පර්යේෂණ, නවෝත්පාදන, විද්‍යාව, තාක්ෂණය, අභ්‍යවකාශය, බලශක්තිය සහ ජනතාව අතර සම්බන්ධතා ඇතුළු ඉන්දියා-ඔස්ට්‍රේලියා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ විවිධ කරුණු යටතේ ප්‍රගතිය අමාත්‍ය දෙපළ විසින් සාකච්ඡා කර තිබේ.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ නිදහස්, විවෘත, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම එහිදී තහවුරු කර ඇති බවය.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය ‍සඳහන් කළේ සංචාරය අතරතුර, ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමුවී ඇති බවය.