යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙල ගැන දැනුම්දීමක්
August 18, 2026 06:59 pm
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති හරහා ප්‍රමිතියෙන් යුතු වී තොග මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමටත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට වෙළෙඳපොළ තුළ සහල් විකිණීමට තහවුරු කිරීමට සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නගා සිටුවීමත් මෙහි අරමුණ වේ.
ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහාය ඇතිව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති කාර්යාලයේ හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම වැඩසටහන ක්‍රම කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර එම ක්‍රමවේදය පහතින් සඳහන් වේ.
- වී මෙට්‍රික් ටොන් 25ක් උපරිම දෛනික කෙටුම් ධාරිතාවක් සහිත ලියාපදිංචි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ එම ධාරිතාවයෙන් යුතු වී මෝලක් හිමි සමූපකාර සමිති මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබනු ඇත.
- රුපියල් මිලියන 25ක උපරිමයකට යටත්ව පොලී රහිත සහනදායී මූල්‍ය පහසුකමක් මෙම වැඩසටහනට සහභාගී වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිවලට ලබා දෙනු ඇත.
- අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර විසින් නිර්දේශ කරනු ලබන වී ප්‍රමාණය මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති විසින් රජයේ සහතික මිලට මිලදී ගත යුතුය.
- රතු හා සුදු නාඩු ප්‍රමිතිගත වී කිලෝග්‍රෑමයක් රජයේ සහතික මිල වන රුපියල් 120කටත් සම්බා ප්‍රමිතිගත වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කටත් මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති විසින් ගොවීන්ගෙන් මිලදී ගත යුතුය.
- අරමුදල් ලබා ගන්නා දින සිට උපරිම වශයෙන් දින 240ක කාල පරිච්ඡේදයක් තුළ මිලදී ගත් වී වෙළෙඳපොළ තුළ අලෙවිකර ලබාගත් මුළු මුදල සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති විසින් පියවිය යුතුය. ඒ සඳහා කිසිදු පොලියක්, කොමිස් මුදලක් හෝ වෙනත් ගාස්තුවක් අය නොකරනු ඇත.
අමාත්‍යාංශය සඳහන් කරනුයේ ඉහත ක්‍රමවේදය 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩසටහන පසුගිය 12 වැනිදා සිට ආරම්භ කළ බැවින් ඉහත සුදුසුකම් සපුරා ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවත්ය.
ඒ අනුව ඔවුන් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වීමෙන් මෙම කටයුතු ආරම්භ කළ හැකි බවද අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.
