ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්

August 18, 2026   02:42 pm

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද (18) සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 193ක් රැස්කළේය. 

ඒ අනුව ඉන්දියාව පළමු ඉනිමේ ලබාගත් ලකුණු 178ක වාසිය හේතුවෙන් තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 372ක හිමිකම් ඉලක්කයක් හිමිවිය.

ඊයේ දිනයේදී ඉන්දීය දෙවන ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබුණද, ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවකට මුහුණදීමට ඔවුන්ට අවස්ථාව හිමිවූයේ නැත.

ඒ අනුව අද දිනයේදී යශස්වි ජයිස්වාල් සහ කේ.එල්. රාහුල් ඉන්දීය දෙවන ඉනිම ආරම්භ කළ අතර, පළමු පන්දුවාරයේදීම ලකුණු ලබාගැනීමට පෙර ජයිස්වාල් දැවී ගියේය.

අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් කේ.එල්. රාහුල් සහ දෙව්දත් පඩික්කල් එක්ව ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, රාහුල් ලකුණු 35කට දැවී යාමෙන් එම සබඳතාව බිඳවැටුණි. 

ඉන්පසුව පිටියට පිවිසි නායක ශුබ්මන් ගිල් ලකුණු 8කට දැවී ගිය අතර, ලකුණු 81ක් තුළ ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 3 බිඳහෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

අනතුරුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය ඉනිමේ ඉතිරි කඩුලු 7 ලකුණු 112ක් තුළ දවාගැනීමට සමත් විය. 

ඉන්දීය දෙවන ඉනිමේ එකම අර්ධ ශතකය රැස්කළ රිෂාබ් පන්ට් ලකුණු 66ක් ලබාගත් අතර, පළමු ඉනිමේදී ශතකයක් රැස්කළ දෙව්දත් පඩික්කල් මෙවර ලකුණු 44කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතාවක් දැක්වූ අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් බිඳහෙළූ අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 43කට කඩුලු 3ක් දවාගත්තේය. 

ඊට අමතරව ළහිරු කුමාර කඩුලු 2ක් සහ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කේෂර නුසන්ත එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 284ක් පමණි.