හෝමාගම කුලී යතුරුපැදි රියදුරාගේ ප්‍රධාන ඝාතන සැකකරු රිමාන්ඩ්

හෝමාගම කුලී යතුරුපැදි රියදුරාගේ ප්‍රධාන ඝාතන සැකකරු රිමාන්ඩ්

August 18, 2026   11:28 am

හෝමාගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේ කුලී යතුරුපැදි රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 සැකකරු ඊයේ (17) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ, මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම නියෝගය ලබා දී තිබුණි.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ  51 හැවිරිදි දෙදරු පියෙකි.

හෝමාගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේ දී පසුගිය ජුලි 16 වැනිදා මෙම සැකකරු කුලී රිය ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබේ.

සැකකරු විසින් තියුණු ආයුධයකින් කුලී යතුරුපැදි රියදුරුගේ ගෙල කපා ඝාතනය කර ඔහුගේ සිරුර ඒ අසල පිහිටි ඇල මාර්ගයකට දමා පළාගොස් ඇති බව හෙළිව තිබුණි.

පසුව පොලීසිය විසින් සිදුකළ විමර්ශන හමුවේ මෙම සැකකරුව මින්නේරිය ප්‍රදේශයේදී රියදුරුව ඝාතනයට යොදාගත් ආයුධයද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ආනාවරණය වූ කරණු මත ඝාතනයට අනුබල දුන් බව කියන මෙම සැකකරුගේ පුත්‍රෙයකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

පොලිස් පරීක්ෂණ වලදී මෙම සැකකරු ඝාතනය සිදු කිරීමෙන් පසු එම රියදුරුගේ යතුරුපැදිය, හිස් ආවරණය සහ ජැකට්ටුව ද රැගෙන හෝමගම නගරයේ ආපන ශාලාවකට ගොස් සිටි ආකාරය දැක්වෙන CCTV දර්ශනද හමුව තිබේ.