වැඩබලන පොලිස් OIC සහ කොස්තාපල්වරයෙක් අල්ලස් දැලේ
August 17, 2026 06:53 pm
රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වැඩබලන ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගෝස්තු 14 වනදා හෙරොයින් මිලිග්රෑම් 70ක් සන්තකයේ තබා ගැනීමේ වරදට සයින්දමරුදු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අගෝස්තු 15 වනදා මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එහිදී, සයින්දමරුදු පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා සැකකරුට එරෙහිව බී වාර්තාවක් මඟින් කරුණු වාර්තා නොකර, හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාළව විධිමත් චෝදනා පත්රයක් මඟින් පමණක් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට එකඟ වී තිබේ.
ඒ වෙනුවෙන් ඔහු සැකකරුගෙන් රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇත.
සැකකරු මෙම මුදල ලබාදීමට එකඟ වී ඇති අතර, නඩු කටයුතු අවසන් වීමෙන් පසු අද (17) දින එම මුදල ලබාදීමට කටයුතු කර තිබේ.
මුදල ලබා ගන්නා අවස්ථාව වන විට සයින්දමරුදු පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා රාජකාරි සඳහා පිටව ගොස් සිට ඇත.
ඒ හේතුවෙන් ඔහුගේ දැනුම්දීම මත, පොලිස් කොස්තාපල්වරයෙකු එම මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සිදුකළ අනාවරණයන් මත වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාද අත්අඩංගුවට ගෙන තිබේ.
මෑතකදී සයින්දමරුදු පොලිස් ස්ථානයට රාජකාරි සඳහා වාර්තා කර ඇති මෙම නිලධාරීන් දෙදෙනා, මේ වන විට අල්ලස් නිලධාරීන්ගේ භාරයේ කල්මුණේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.
