රට සල්ලි ලංකාවට එවන අය බදුවලට බය වෙන්න දෙයක් නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

රට සල්ලි ලංකාවට එවන අය බදුවලට බය වෙන්න දෙයක් නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

August 17, 2026   05:00 pm

විදෙස්ගත ශ්‍රමිකයින් තමන් විදේශයන්හිදී නීත්‍යනුකූලව උපයන ආදායම බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී බදු සම්බන්ධයෙන් බිය විය යුතු නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

“අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ බදු කාර්ය සඳහා පුද්ගලයෙකු වාසිකයෙකු ලෙස සැලකෙන්නේ නම්, එම පුද්ගලයා විදේශයන්ගෙන් උපයන ආදායම මෙන්ම ශ්‍රී ලංකාව තුළින් උපයන ආදායමද බද්දට යටත් වන බවයි.

කෙසේ වෙතත්, අදාළ තක්සේරු වර්ෂය සඳහා පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ බදු කාර්ය සඳහා වාසිකයෙකු නොවන්නේ නම්, ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවෙන් පිටතදී උපයන ආදායම ශ්‍රී ලංකාව තුළ බද්දට යටත් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයෙකු තමන් විදේශයකදී උපයන ආදායම බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී බදු සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බව හිරාන් මෙනේරිපිටිය මහතා අවධාරණය කළේය.

විදේශයන්හි සිට මුදල් ප්‍රේෂණය කරන අවස්ථාවේදී බැංකු පද්ධතිය හරහා එම මුදල සඳහා වෙනම බද්දක් අයකර ගැනීමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින්ට තමන් නීත්‍යනුකූලව උපයන ආදායම බැංකු පද්ධතිය හරහා මෙරටට ගෙන්වා, එම මුදල් නීත්‍යනුකූලව ආයෝජනය කිරීමේ අවස්ථාවද හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.

"විදෙස් ගත ශ්‍රී ලාංකියෝ බද්දට යටත් වෙන්නේ ශ්‍රී ලංකාවේ බදු කාර්ය සඳහා ඒ පුද්ගලයා වාසික තැන්තෙක්නම් ඒ පුද්ගලයා විදේශයෙන් උපයන ආදායම සහ ලංකාව තුළින් උපයන ආදායම බද්දට යටත් වෙනවා. හැබැයි මේ විදේශගතව ඉන්න මේ ශ්‍රමිකයා අදාළ තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බදු කාර්ය සඳහා වාසිකයෙක් නොවේ නම් ඒ පුද්ගලයා ලංකවෙන් පිටතදී උපයන ආදායම ශ්‍රී ලංකාව තුළ බද්දට යටත් වන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඇත්තටම විදෙස්ගත ශ්‍රමිකයෙක් තමන් පිරටදී උපයන ආදායම මේ බැංකු පද්ධතිය හරහා ලංකාවට ප්‍රේශණය කිරීමේදී බදු සම්බන්ධයෙන් බිය විය යතු නැහැ. ප්‍රේෂණය කරන අවස්ථාවේදී  බැංකු පද්ධතිය හරහා ඒ වෙනුවෙන් බදු අයකර ගැනීමක් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම ඒ පුද්ගලයන්ට අවස්ථාවක් ලැබෙනවා තමන් විදේශ ගතවදී නීත්‍යානූකුලව උපයා ගන්නා ආදායම මේ බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තුළන් ඒ ආදයම නීත්‍යානූකූලව උපයාගත් ආදයම ලංකාව තුළ ආදළ ආයනවලට ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම කරලා ඒක ආයෝජනය කිරීමේ අවස්ථාවත් හිමිවෙනවා එතනදි බදු සම්බන්ධයෙන් බියක් ඇති කරගෙන වෙන නීත්‍යානූකූල නොවන ආකාරයෙන් මුදල් ප්‍රේෂණය කිරීමේ මෙකට විසඳුමක් නොවෙයි."