වසර 75කට පසු ලංකාවට එන අවදානම...

වසර 75කට පසු ලංකාවට එන අවදානම...

August 17, 2026   02:44 pm

මේ වසර අගවනවිට එල් - නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල් - නිනෝ තත්ත්වයක්වීමේ සම්භාවිතාව සියයට 90ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 75ක් තුළ ඇතිවූ එල් - නිනෝ තත්ත්වයන්ට වඩා ප්‍රබල එල් - නිනෝ තත්ත්වයක් මේ වසර අවසානයේදී අපේක්ෂා කරන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා,

"මේ එල් - නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ. මේ වසරේ ඇතිවන එල් - නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල් - නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල් - නිනෝ තත්ත්වය ඒ සියලුම එල් - නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක්වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝතකනය වෙනවා" 

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, තමන් යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම 37%ක් දක්වා පහළ ගොස් ඇති බැවින්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එන්.පී.එස්.ඩී. හේරත් මහතා මේ සම්බන්ධයෙන් පැවසූයේ,

"වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන ප්‍රධාන ජලාශ 74 පවතින ජල ප්‍රමාණය මේවන විට ප්‍රතිශතයක් වශයෙන් 37%කට ආසන්න අගයක් ගන්නවා. මේවන විට පවතින ජල ප්‍රමාණය යල කන්නය සඳහා ප්‍රමාණවත් යැයි අපේක්ෂා කරන අතර, නොවැම්බර් දෙසැම්බර් වර්ෂාපතනය ලැබෙන තාක් ප්‍රමාණවත් වේ යැයි අපේක්ෂා කරනවා" 

මේ අතර, දිවයින පුරා ජල පිරිපහදු මධ්‍යස්ථානවල 100%ක උපරිම ධාරිතාවයක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ,

"දිවයින පුරාම තියෙන ජල පිරිපහදු මධ්‍යස්ථානවල 100%ක්ම අපේ උපරිම ධාරිතාවයෙන් ජල සම්පාදනය සිද්ධ කරනවා දිස්ත්‍රික්ක කිහිපයක වියළි කාලගුණය පැවතුනා කියලා ජලසම්පාදන අඩු කරලා නෑ. ජල සම්පාදයේ කිසිදු ගැටලුවක් නෑ. හැබැයි වාරි මාර්ග ජලාශවල 56%ට වඩා යම් අඩුවීමක් වුණු ජලාශ තියෙනවා."