සේවයෙන් ඉවත්වූ හා ඉවත්කළ පොලිස් නිලධාරීන් පිළිබඳ අනාවරණයක්
August 16, 2026 11:15 pm
2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන් 4,308 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එලෙස ඉවත්ව ඇති පිරිස අතර නිලධාරීන් 3,936 දෙනෙකු සහ නිලධාරිනියන් 372 දෙනෙකු සිටිති.
මින් වැඩිම පිරිසක් ඉවත්වී ඇත්තේ පසුගිය 2025 වසරේදීය. එම වසරේ පමණක් නිලධාරීන් 838ක් හා නිලධාරිනියන් 49ක් ලෙස 887ක පිරිසක් ඉවත්ව තිබේ.
කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස 6ක කාලය තුළ නිලධාරීන් 699ක් හා නිලධාරිනියන් 59ක් ලෙස සමස්ත නිලධාරීන් 758ක පිරිසක් ඉවත්වී ඇත.
සිය සේවා කාලය අවසන්වීමට පෙර විශ්‍රාම ගැනීම, විදේශ රැකියා සඳහා පිටත්ව යාම ඇතුළු විවිධ පෞද්ගලික හේතු මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සඳහන්ය.
මීට අමතරව ගතවූ වසර 5 තුළ පොලිස් නියෝගයන්ට පටහැනි විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නිලධාරීන් 658 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ සමස්ත පුරප්පාඩු 30,815ක් පවතින අතර, ඊට සාමාන්‍ය පොලිස් සේවයේ පුරප්පාඩු 28,164ක් සහ විශේෂ කාර්ය බලකායේ (STF) පුරප්පාඩු 2,651ක් ඇතුළත්ය.
කෙසේ වෙතත් නියමිත බඳවා ගැනීමේ, උසස් කිරීමේ සහ ස්ථානමාරු පටිපාටියට අනුකූලව මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා නව බඳවා ගැනීම් සහ උසස්වීම් කඩිනම් කර තිබේ.
එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීම සහ මානසික සුවතාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කර ඇත.
නවීන තාක්ෂණය හඳුන්වාදීම, ඩිජිටල්කරණ වැඩසටහන්, භට නිවාස පහසුකම් ඉහළ නැංවීම, බෝනොවන රෝග හඳුනාගැනීමේ වෛද්‍ය කඳවුරු සහ ගුණාත්මක ඖෂධ ලබාදීම ඊට ඇතුළත්ය.
තවද, ශල්‍යකර්ම සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ඉහළ නැංවීම, උපදේශන හා මනෝවිද්‍යාත්මක වැඩසටහන් පැවැත්වීම මෙන්ම 'පොලිස්පති සහන දිනය' හරහා නිලධාරීන්ට ඍජුවම පොලිස්පතිවරයා හමුවී ගැටලු ඉදිරිපත් කිරීමටද පහසුකම් සලසා ඇත.
