අනතුරට ලක්වූ නාවික හමුදා යාත්‍රාව සෙවූ මෙහෙයුම
August 16, 2026 07:49 pm
මුර සංචාරයක් නිමවා නැවත පැමිණෙමින් සිටින අතරතුර මොරටුව අඟුලානට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගැනීමට නාවික හමුදාව අද (16) සමත් විය.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශේෂඥ කිමිදුම් කණ්ඩායම් ආධාරයෙන් පැය කිහිපයක් මුළුල්ලේ සිදුකෙරුණු මෙහෙයුමකින් අනතුරුවයි.
මේ අතර තවදුරටත් අතුරුදන් නාවිකයා සොයන මෙහෙයුම් අද දිනය පුරාත් ක්‍රියාත්මක විය.
මුහුදේ පැවති රළු ස්වභාවය සහ දැඩි සුළං තත්ත්වය මධ්‍යයේ තරමක් අභියෝගකාරිවූ මෙම මෙහෙයුම් වලදී අදාළ යාත්‍රාව ගොඩට ගැනුණු අතර එය කොළඹ වරාය වෙත රැගෙන ඒමට පියවර ගැනුණි.
මෙවන් පසුබිමක සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීම සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේය.
නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ඊයේ පෙරවරු 11.40ට පමණ මොරටුව අඟුලාන වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 3ක දුරකදී අනතුරට ලක්වූයේ මුර සංචාරයක් නිමවා නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.
ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ප්‍රමුඛව ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, අඟුලාන පොලීසිය, එක්ව සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමේදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනුණි.
මේ වනවිටත් ශ්‍රී ලංකා නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
