ඔස්ට්‍රේලියාව පරදවා බංග්ලාදේශයට කඩුලු 09ක විශිෂ්ට ජයක්
August 16, 2026 10:45 am
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද (16) සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198කි.
ඊට පිළිතුරු ලෙස බංගලාදේශ පිළ ලකුණු 426ක් ලබාගැනීමට සමත්විය.
අනතුරුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණය.
ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 57ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගත් තෙවන ආසියානු රට ලෙසට බංග්ලාදේශ කණ්ඩායම වාර්තා පොත් අතරට එක්විය.
ඔස්ට්‍රේලියාවේදී ඉන්දියාව 2018-19 සහ 2020-21 තරග වාරවලදීත්, පාකිස්තානය 1995 වසරේදීත් ටෙස්ට් තරග ජයගෙන ඇත.
පාකිස්තානය, ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ හත්වන ටෙස්ට් තරගය ජයගත් අතර ඉන්දියාව සිය මංගල ටෙස්ට් තරග ජය වාර්තා කළේ, ඔවුන් එරට තුළ ක්‍රීඩා කළ 12 වන ටෙස්ට් තරගයේදීය.
කෙසේවෙතත් බංග්ලාදේශය තමන් ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ තෙවන තරගයේදී ප්‍රථම ටෙස්ට් ජයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.
