නියඟයේ සැර දැඩිවෙයි - වැව් සිඳීයාමේ අවදානමක
August 15, 2026 08:22 pm
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන හා කුඩා ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත බැස ඇති අතර, එමගින් ජනතාව සහ සත්ව ප්‍රජාව දැඩි පානීය ජල අර්බුදයකට මෙන්ම වගා හානි රැසකට ද මුහුණ දී සිටිති.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට 37% දක්වා පහත බැස ඇත. විශේෂයෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා වැව්වලට මෙහි දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ පාලනය කිරීම සිදුවන්නේ ප්‍රධාන ව්‍යුහ කිහිපයක් යටතේ.
ඒ අනුව විශාල වැව්, ජලාශ මහවැලිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ද, කුඩා වැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ද පාලනය කෙරේ.
මේ දිනවල පවතින අධික වියළි කාලගුණයේ බලපෑම දැඩිව එල්ලවී ඇත්තේ කුඩා වැව්වලටය.
දිස්ත්‍රික්ක ලෙස ගතහොත් අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මොනරාගලට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9ක මේ වනවිට පවතින ජල මට්ටම 23% දක්වා අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තු දත්තවල සඳහන්ය.
එලෙසම මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක පවතින ජල මට්ටම 26%ක් වන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල එම ජල මට්ටම දැක්වෙන්නේ 28%ක් ලෙසින්ය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ජලාශ 4ක ජල මට්ටම් 42% දක්වාත් පහත බැස ඇති අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10ක ජල මට්ටම 43%ක සාමාන්‍යයක පවතී.
ජල මට්ටම් මෙලෙස අවම වීම නිසා ජනතාවට මෙන්ම සත්වයින්ට ද මේ වන විට මුහුණපෑමට සිදුව ඇත්තේ දැඩි පානීය ජල අර්බුදයකටය.
වියළි කාලගුණයේ බලපෑමෙන් ප්‍රදේශ රැසක කුඹුරු හානියට පත්ව ඇති අතර, අනෙකුත් වගා ද විනාශ වී තිබේ.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුල්උතුව වැව සිඳී ගොවිපවුල් 50කට ආසන්න පිරිසක් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
වගාවලින් අක්කර 50කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් ජලය නොමැතිකමින් හානි වී ඇත.
මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් අම්පාර ජලාශයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් ධීවරයින් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකිව තිරප්පනේ කරඹෑගම ප්‍රදේශයේ ඇතැම් වගාවන් අත්හැර දැමීමට සිදුව ඇත.
මාරාකුලම - මහවැව, අලුතබැඳිවැව, ඔබඩෑගමවැව, දික්වැව ඇතුළුකුඩා වැව් කීපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීම නිසා ගොවීන් පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටය.
මේ හේතුවෙන් කිරි ගවයන්ට ආහාර සහ ජලය සපයාදීම ද ගැටලුවක් වී ඇතැයි ගොවීන් පවසයි.
මේ අතර ලග්ගල කළුගඟ ජලාශයේ ජල මට්ටම පහළයෑමත් සමග කළු ගඟ ඉදිකිරීමේදී පල්ලේගම නගරයේ ස්ථාන කිහිපයක් මේ මතුව ඇත.
කන්තලේ ජලාශයේ ජල මට්ටම බෙහෙවින් පහළ ගොස්, ඉදිරි කන්නය වගා කිරීම අවදානම් තත්ත්වයකට පත්ව තිබේ.
ජලය නොමැතිව එම ප්‍රදේශයේ සතුන් මියගොස් ඇති ආකාරයද දැකගැනීමට හැකිවේ.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල ඇතැම් ප්‍රදේශවල හෙට දහවල් කාලයේදිද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 'අවධානය යොමුකළ යුතු' මට්ටමක, එනම් සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක පවතිනු ඇති බවය.
මෙම පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග විජලනයට පත්වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් හැකිතාක් ජලය පානය කරන ලෙස ළමා රෝග විශේෂඥවරු ඉල්ලා සිටී.
