බෝතල් පත්තරවලට විකුණු අධ්‍යාපන පෙළපොත් අතින් අත ගිය හැටි හෙළිවෙයි
August 15, 2026 11:50 am
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 8ක වටිනාකමකින් යුත් පෙළපොත් අතුරුදන් කරවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පළමු ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් පොත් හා පෙළපොත් 19,892ක ප්‍රමාණයක් මෙලෙස නිසි පරිදි බෙදා හැරීමේ මධ්‍යස්ථානය වෙත භාර නොදි තිබූ අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පෙළපොත් බාර නොදුන් බවට ලැබුණු පැමිණිල්ල
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිෂ්පාදන හා බෙදා හැරීම් කොමසාරිස්වරියක විසින් පසුගිය 12 වැනිදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
අදාළ පැමිණිල්ල මගින් ඇය සඳහන් කර තිබුණේ නැගෙනහිර පළාත සඳහා 01 ශ්‍රේණියේ 03 වන වාරයට අදාළ ක්‍රියාකාරකම් පොත් හා පෙළපොත් නැගෙනහිර පළාත සඳහා ප්‍රවාහනය කිරීමට බියගම ප්‍රදේශයේ පිහිටි ප්‍රවාහන ආයතනයක් වෙත පසුගිය මැයි 04 වැනි දින ගිවිසුම් ගතව ලබා දුන් බවත් ඒ අනුව එම පළාතේ මධ්‍යස්ථාන 12ක් සඳහා නියමිත පරිදි බෙදා හැරීමක් සිදුකර නොමැති බවත්ය.
පැමිණිල්ල මත ආරම්භ කළ විමර්ශනයේ ප්‍රතිඵලය
අදාළ පැමිණිල්ල මගින් තලංගම පොලීසිය විමර්ශන ආරම්භ කරනු ලැබූ අතර ඒ අනුව සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (14) දිනයේදී අත්අඩංගුවට ලැබීය.
ඒ රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පළමු ශ්‍රේණියේ ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් 19,892ක් සාපරාධී සාවද්‍ය පරිහරණය හා රජයේ දේපළවලට අලාභ හානි සිදු කිරීම යටතේ චෝදනා ගොනු කරමිනි.
බෝතල් පත්තරවලට විකිණු පෙළපොත් ගැන හෙළිදරව්ව
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී පොලීසියට අනාවරණය කරගෙන ඇත්තේ අදාළ පෙළපොත් තොගය රැගෙන ගිය ප්‍රවාහන සමාගමේ ලොරි රථ රියදුරු (පළමු සැකකරු) විසින් අදාළ පෙළපොත් තොගය අලව්ව, පාතයාය, මාවත පහළ, කැප්පිටිවලායන යන ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය මිලදී ගනු ලබන පුද්ගලයෙකු වෙත සියලු පොත් පත් සහ කඩදාසි කිලෝග්‍රෑමයක් රුපියල් 25.00කට මුදලකට විකුණා ඇති බවය.
ඒ අනුව අදාළ පොත් පත්වල මුළු බර කිලෝ 1,700ක් තිබී ඇති අතර ඔහු විසින් එම තොගය කිලෝවක් රුපියල් 25 බැගින් මිලදී ගෙන තිබේ.
රුපියල් 25කට මිලදී ගත් තොගය රුපියල් 50කට විකුණූ හැටි
අබලි ද්‍රව්‍ය මිලදී ගත් දෙවන සැකකරු විසින් රුපියල් 25කට මිලදී ගත් එම පෙළපොත් තොගය කිලෝවක් රුපියල් 40 බැගින් නැවත විකුණා තිබේ.
ඒ පොත් පත්, පරණ යකඩ හා කඩදාසි මිලදී ගන්නෙකු වන කුලියාපිටිය පාර, නාරම්මල ලිපිනයේ පදිංචි අයෙකුටය.
පසුව නාරම්මල ලිපිනයේ පදිංචි තුන්වන සැකකරු විසින් අදාළ පෙළපොත් තොගය නැවත කිලෝග්‍රෑමයක් රුපියල් 50කට අලෙවි කර තිබේ.
එලෙස අලෙවි කර ඇත්තේ පහළ ඔට්ටු කුලම, වන්නිරස්නායක පුර, නිකවැරටිය ලිපිනයේ පදිංචි අයෙකු වෙතය.
රුපියල් 50ට මිලදී ගත් පෙළපොත් තොගය නැවත වත්තලට විකුණලා
එලෙස අදාළ පෙළපොත් මිලදී ගත් සිව්වන සැකකරු අදාළ පෙළපොත් තොගය මීගමුව පාර, වත්තල පිහිටි ආයතනයකට අලෙවි කර ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
වත්තල පිහිටි අදාළ ආයතනය පරණ කඩදාසි, කාඩ්බෝඩ් වැනි දෑ එකතු කර යන්ත්‍රානුසාරයෙන් කපා බණ්ඩල් කර ඉන්දියාව වෙත මුදලට අපනයන කරනු ලබන ආයතනයක් වන අතර ඒ අනුව අදාළ ආයතනයේ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
පළමු සැකකරුගේ පෙර වැරදි චෝදනාත් එළියට
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පළමු සැකකරු වන අදාළ ප්‍රවාහන සමාගමේ ලොරි රථ රියදුරු සම්බන්ධව පෙර වැරදි කිහිපයක් සම්බන්ධවද කරුණු ගණනාවක් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව සැකකරු පසුගිය 2023 වසරේදී දොම්පේ පොලිස් ස්ථානය මගින් ගංජා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම වසරේම නොවැම්බර් 28 වැනි දින දොම්පේ පොලිස් ස්ථානය විසින් බීමත් රිය පැදවීමේ වරදට නැවත අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම පසුගිය 2024 වසරේ මාර්තු 19 වැනි දින දොම්පේ පොලිස් ස්ථානය මගින් පහරදීමේ චෝදනා මත නැවත අත්අඩංගුවට ගෙන ඇති අතර එම වසරේම දෙසැම්බර් 12 වැනි දින මාරක රිය අනතුරක් සිදු කිරීමේ වරදට නැවත අත්අඩංගුවට ගත් අයෙකු බවත් මේ වන විට අනාවරණය වී තිබේ.
මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5 දෙනා පෙළපොත් තොගය නිසි පරිදි බෙදා හැරීමේ මධ්‍යස්ථානය යෙත බාර නොදීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හා රජයේ දේපළවලට අලාභ හානි සිදු කිරීම යන චෝදනා මත අද (15) දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
