බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රැස්කරමින් සිටි අයෙක් අත්අඩංගුවට
August 14, 2026 08:04 pm
බන්ධනාගාරයේ නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව සොයමින් සිටි පුද්ගලයෙකු සහස්පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පසුගියදා නව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්ත්වය අතරතුරදී මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු, අස්මාන් නැමැත්තා විසින් පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.
ඔහු නව මැගසින් බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය ඇතිවීමට දින තුනකට පෙර ඇපමත නිදහස්ව ඇති බව ද පොලිසිය පැවසීය.
එමෙන්ම ඔහු කොස් මල්ලි නම් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුගේ සමීපතමයෙක් බවට ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පසු සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කොස් මල්ලි සමග සිදුකළ සංවාද කිහිපයක හඬපට ද පොලිසිය සොයාගෙන තිබේ.
එම දුරකථන සංවාදවල ඇතුළත්ව තිබී ඇත්තේ, බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීම් වන අතර එහි ඔවුන්ට අනතුරක් සිදුකිරීමට සූදානම්වන බවට ද සඳහන්ව ඇති බව පොලිසිය පවසයි.
