දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සූදානම් පාලන ක්‍රමවේදයක් පිළිබඳ අවධානය

දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සූදානම් පාලන ක්‍රමවේදයක් පිළිබඳ අවධානය

August 14, 2026   04:37 pm

එල් නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ මෙරට දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම් අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් මෙම සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා විය.

එමෙන්ම කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවි සංරක්ෂණය, අලි - මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදුකළ බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රෝප් මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම්විම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශයද මෙහිදී සාකච්ඡා වූ අතර 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයින් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථානය වෙත ගෙන යාමට එම ප්‍රාන්තයට හැකි වූ බවද පෙන්වා දෙනු ලැබීය.

අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.

එල් නිනෝ ඔරොත්තු දීමේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින් කෘෂිකර්මාන්තය, ජෛව විවිධත්වය, ජල සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විශ්ලේෂණය කර ඇති අතර, විද්‍යාත්මක පදනමක් සහිත දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාවක් පිළිබඳ  උපාය මාර්ගික රාමුවක් යෝජනා කර ඇත.

වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය පියවීම, වනජීවී කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික උද්‍යාන ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරීම පිළිබඳව අවධානය යොමු විය.

සංවේදී පූජනීය ප්‍රදේශවල පාරිසරික බලපෑම් අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සඳහා ක්‍රමවේදය හඳුන්වාදීම සහ උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.

දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික සම්බන්ධීකරණය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්, පර්යේෂකයින්, තරුණ නියෝජිතයින්  සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  සහභාගී විය.