අවුරුදු 4ක දැරියක් පාළු පාරක දමා ගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
August 14, 2026 01:44 pm
අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයකදී අවුරුදු 4ක දැරියක් අතරමංකර පළා ගොස් සිටි සැකකරු සහ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අද (14) පෙරවරුවේ හාලිඇල ප්රදේශයේදී වන අතර සැකකරු සහ සැකකාරිය හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරිය අතුරින් සැකකාරිය දැරියගේ මව බවට මේ වන විට හඳුනාගෙන ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
මෙම දැරිය ඊයේ (13) වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක සිටියදී පොලීස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ පොලිස් කණ්ඩාමක් විසින් දරුවා සිය භාරයට ගනු ලැබීය.
ත්රීරෝද රථයකින් පැමිණ ඊයේ පෙරවරු 7ට පමණ මෙම දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලීසිය සැකපළ කළ අතර ළමයා රැගෙන ආ බවට සැක කෙරෙන ත්රීරෝද රථය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙම සැකකරු සහ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
