මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් දේපොළ මිලදී ගත් සැකකාරියක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් දේපොළ මිලදී ගත් සැකකාරියක් අත්අඩංගුවට

August 14, 2026   06:51 am

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කර දේපොළ හා වත්කම් මිලදී ගත් බවට සැකපිට 53 හැවිරිදි කාන්තාවක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොළඹ 14, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පොලිස්පතිවරයා විසින් 2021 මාර්තු 31 වැනිදා එම පැමිණිල්ල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇති බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකාරිය සතුව තිබූ දේපොළ හා වත්කම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඒවා ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබේ.

අධිකරණ නියෝග මත ක්‍රියා විරහිත කර ඇති දේපළ අතර,

ජාඇල ප්‍රදේශයේ පර්චස් 8.66ක ඉඩමක් - රුපියල් ලක්ෂ 14ක්
බැංකු ගිණුම් 06ක තිබූ මුදල් - රුපියල් ලක්ෂ 59ක්
කොළඹ 14 ප්‍රදේශයේ කඩ කාමර 03ක් - රුපියල් ලක්ෂ 225ක්
කොළඹ 14 ප්‍රදේශයේ තවත් කඩ කාමරයක් - රුපියල් ලක්ෂ 75ක්
කොළඹ 14 ප්‍රදේශයේ තෙමහල් නිවසක් සහිත ඉඩමක් - රුපියල් ලක්ෂ 200ක්

ඇතුළත් වන බව පොලීසිය සඳහන් කරයි.

මෙම දේපොළ හා වත්කම් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් ලබාගත් බවට විමර්ශනවලදී අනාවරණය වීම හේතුවෙන් සැකකාරිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.