යාල වනෝද්‍යානයේ දී දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක්
August 12, 2026 04:24 pm
යාල ජාතික වනෝද්‍යානය තුළ සිදුකළ විශේෂ වනජීවී මෙහෙයුමක් අතරතුර දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.
මෙම මෙහෙයුම ඊයේ (11) දින තණමල්විල යාල ජාතික වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් පිරිසක් විසින් රක්ෂිතය තුළ ක්‍රියාත්මක කර ඇත.
වනෝද්‍යානය තුළ සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී දඩයම්කරුවන් විසින් වනජීවී නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් නිලධාරීන්ද ආත්මාරක්ෂාව සඳහා නැවත වෙඩි තබා තිබේ.
වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, ඇල්ලගල වම් ඉවුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් එම ස්ථානේදීම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී මුවන් දෙදෙනෙකුගේ මස් කිලෝග්‍රෑම් 41 ක් මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් වනජීවී නිලධාරී භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පලාගිය සැකකරුවන් සොයා සිදුකළ විමර්ශන අතරතුර, ලුණුගම්වෙහෙර ජලාශයේ ඉහළ කොටසේ වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් රැක සිට වෙඩි තැබූ බව පවසමින් තුවාල ලැබූ පුද්ගලයකු දෙබරවැව මූලික රෝහලේ අංක 5 වාට්ටුවට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් පොලිසිය විසින් ලුණුගම්වෙහෙර පොලීසියට දන්වා ඇත.
මෙම වෙඩි වැදීමෙන් ඔහුගේ දකුණු පස පිට ප්‍රදේශයට සහ දකුණු උරහිසට පහළ ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ තුවාල ලබා රෝහල්ගතව ඇත්තේ ස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ගව පාලකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, පලාගිය අනෙකුත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සමඟ ඒකාබද්ධව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
