ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ
August 12, 2026 06:15 am
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සාකච්ඡාවක් ලබා දී තිබේ.
ඒ අනුව අද පස්වරු එකට අදාළ සාකච්ඡාව පවත්වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය , විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක , සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යෙය් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබීය.
ඒ අනුව, ඊට අදාළ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කෙරුණි.
එවන් පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කෙරුණි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමග පැවති හමුවක දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදුකළේය.
ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සාකච්ඡාවක් ලබා දී තිබේ.
අද පස්වරු 01ට අදාළ සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික විධායක කමිටු රැස්වීම පෙරේදා (10) පස්වරුවේ පවත්වා ඇති අතර එහිදී අදාළ සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුවේ නියෝජිතයින් සහභාගී වීමට යෝජනා වී තිබේ.
