‍කොලොම්බියාවට ශ්‍රී ලංකාව ශෝකය පලකරයි

‍කොලොම්බියාවට ශ්‍රී ලංකාව ශෝකය පලකරයි

August 12, 2026   05:39 am

කොලොම්බියාවට බලපෑ දැවැන්ත භූකම්පනයෙන් සිදුවූ ජීවිත හානි සහ එරටට සිදුවු විනාශය පිළිබඳව ශ්‍රී ලංකාව සිය බලවත්  ශෝකය පල කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, භූකම්පනයෙන් සිදුවූ විනාශය සහ ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි ලෙස කනගාටුවට පත්ව සිටින බවය.

එමෙන්ම මෙම දුක්බර අවස්ථාවේදී කොලොම්බියානු ජනතාව සහ රජය සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් හා එකමුතුවෙන් කටයුතු කරන බවද ඔහු අවධාරණය කර ඇත.

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.

රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය සඳුදා අලුයම කොලොම්බියාවේ ප්‍රධාන කෝපි නිෂ්පාදන ප්‍රදේශයට බලපා තිබේ.

භූකම්පනය හේතුවෙන් පෙරේරා සහ කැලි ඇතුළු නගරවල බහු මහල් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, මනිසාලෙස් නගරයේ ආසන දෙව්මැදුරක කොතක කොටසක්ද කඩා වැටී තිබේ.

පොලිසිය, හමුදාව සහ ස්වේච්ඡා සේවකයින්ගේ සහාය ඇතිව සහන කණ්ඩායම් රාත්‍රිය පුරාම කැණීම් යන්ත්‍ර සහ ඇතැම් අවස්ථාවල සිය දෑත් පවා භාවිත කරමින් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් සිදුකර තිබේ.

කැලි නගරයේ පමණක් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති අතර, ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන් විනාශ වී හෝ අවදානම් සහිත ලෙස ඇලවී ඇති බව වාර්තා වේ.

එහි රෝහලක ඉහළ මහල් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් රෝගීන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති අතර, තවත් රෝගීන් 600කට ආසන්න පිරිසකට රෝහලෙන් පිටතදී ප්‍රතිකාර ලබාදීමට සිදුව තිබේ.

භූකම්පනයෙන් දැඩි බලපෑමට ලක්වූ රිසරල්ඩා ප්‍රදේශයේ අගනුවර වන පෙරේරා නගරයෙන් මරණ 72ක් වාර්තා වී ඇති අතර, කැලි නගරයද ඇතුළත් වාලේ ඩෙල් කවුකා ප්‍රදේශයෙන් මරණ 38ක් වාර්තා වී තිබේ.

භූකම්පනයේ කේන්ද්‍රස්ථානයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයක් වන චොකෝ ප්‍රදේශයෙන් තවත් මරණ 13ක් වාර්තා වී ඇත.

මේ අතර, කැලි නගරයේ සිදුවූ බව කියන කොල්ලකෑම් වාර්තා හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 1,000ක් එම නගරයට යෙදවීමට ජනාධිපති අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියේල්ලා නියෝග කර තිබේ.

කැලි සහ පෙරේරා නගරවල සඳුදා රාත්‍රියේ ඇඳිරි නීතියද ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.