ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
August 11, 2026 07:51 pm
චීනයේ ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති Wei Huaxiang මහතා සිය ධුරයේ රාජකාරි භාරගැනීම සඳහා අද (11) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයක් මගින් තානාපතිවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසය, ස්වභාවික සුන්දරත්වය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය පිළිබඳව තම ප්‍රසාදය පළ කර ඇති තානාපති වේයි හුවාෂියැං මහතා, චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පැවති සමුද්‍රීය හා සංස්කෘතික සබඳතා ද සිහිපත් කර තිබේ.
රබර් සහල් ගිවිසුම ඇතුළු ඓතිහාසික සබඳතා මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ ආකාරයද ඔහු අවධාරණය කර ඇත.
‘Belt and Road’ වැඩසටහන යටතේ දෙරට අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් වී ඇති බවත්, එමගින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිව ඇති බවත් තානාපතිවරයා සඳහන් කර තිබේ.
2025 වසරේ චීනයේ සිදුකළ සංචාරවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමුවූ බවද ඔහු සිහිපත් කර ඇත. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා සඳහා නව උපායමාර්ගික දිශානතියක් ලබාදී ඇති බවද තානාපතිවරයා පෙන්වාදී තිබේ.
