වී මිලදී ගැනීම්වල නවතම තත්ත්වය - වැඩිම ප්‍රමාණය අම්පාරෙන්

වී මිලදී ගැනීම්වල නවතම තත්ත්වය - වැඩිම ප්‍රමාණය අම්පාරෙන්

August 11, 2026   03:11 pm

රජය විසින් වී මෙට්‍රික්ටොන් 39,500ක් මිලදී ගැනීමට සැලසුම් සකස්කර තිබෙන බවත්, ඉන් ඊයේ (10) දිනය වනවිට වී මෙ.ටො. 27,458ක් මිලදීගෙන ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වී මිලදි ගැනීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 105ක් ක්‍රියාත්මක බවය.

එමෙන්ම තවත් වී මිලදී ගැනීමේ මාධ්‍යස්ථාන 40ක් පමණ ආරම්භ කිරීමට නියමිත බවත් හෙතෙම පැවසීය.

රජය වී මිලදීගැනීමේ අපේක්ෂිත ඉලක්කයට වඩා වී මෙ.ටො. 12,000ක් පිටුපසින් සිටින බවත්, එම ප්‍රමාණය මිලදීගැනීමෙන් පසු තවත් ප්‍රමාණයක් මිලදී ගැනීමට සැලසුම්කර ඇත.

සමස්ත මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන්කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 3,302ක් මේ වනවිට වැයකර තිබේ.

මේ දක්වා මිලදීගත් වී අස්වනු අතරින් වැඩිම ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය මෙ.ටො.  13,975ක්ය.

දෙවනුවට වැඩිම ප්‍රමාණයක් අනුරාධපුර (මෙ.ටො. 4,073) දිස්ත්‍රික්කයෙන්ද, තෙවැනියට වැඩිම ප්‍රමාණයක් වව්නියාව (මෙ.ටො. 1,525) දිස්ත්‍රික්කයෙන්ද මිලදීගෙන ඇත.

ඊට අමතරව හම්බන්තොට (මෙ.ටො. 1,337), කිලිනොච්චිය (මෙ.ටො. 1,206) හා මඩකලපුව (මෙ.ටො. 1,074) දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු අස්වැන්නක් මේ වනවිට මිලදීගෙන තිබේ.

අනුරාධපුර හා පොලොනරුව දිස්ත්‍රික්කවල තවමත් අස්වනු නෙළමින් තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.