ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

August 11, 2026   02:58 pm

ග්‍රාම සේවා නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව ඇතුළු වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදී තිබියදීත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම පිළිගත නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්යය චන්දන අබේරත්න මහතා පවසා තිබේ.

ඔහු පවසන්නේ පසුගියදා අදාළ ග්‍රාම සේවා වෘත්තීය සංගම් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන්ගේ ගැටලු සඳහා ඉදිරි අයවැයෙන් විසඳුම් ලබාදීමට රජයේ පාර්ශ්වයෙන් එඟතාව පළකළ බවයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්යය චන්දන අබේරත්න මහතා,

"සනීපාරක්ෂක නිලධාරියා Strike කළත් වෛද්‍යවරයා Strike කළත් ජනතාවට තමයි ඒකෙ අපහසුතාවය. ඒක නිසා ඒකට විසඳුමක් අපි දීලා තියෙනවා. ඒ විසඳුම පිළිගැනීම නොගැනීම අතරේ තමයි ජනතාව දුෂ්කරතාවට පත්වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ විසඳගන්නම ඕනිනම් ඒකට අවශ්‍ය වැඩටික කරලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ ඇඳගෙන යන්න ඕනිනම් කාටහරි ඔය විදයට ඇදගෙන යන්නත් පුළුවන්." 

"ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳ අවස්ථා ගණනාවකදීම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කළා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න කීපයක් තිබුණා. ප්‍රශ්න අපි හඳුනා ගත්තා. ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා අමාත්‍යාංශ ලේකම් එක්ක සාකච්ඡා කරලා ඒ වගේම මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නය අයවැය යෝජනාවක් හැටියට දාලා විසදන්න ජනාධිපතිතුමා එකඟ වුණා. ඒ කාරණය වෘත්තීය සමිති නායකයන්ට පැහැදිලි කරලා දුන්නා. මේපාර අයවැයෙන් මේ ප්‍රශ්නය නිරාකරණය කරලා දෙනවා. අපි පහුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ වෘත්තීය සමිති නායකයන් එක්ක කතා කරලා එකඟ වුණා. එතනදි එයාලගෙ පැත්තෙන් ධානාත්මක ප්‍රතිචාරයක් තමයි දැනුනේ. ඊට පස්සේ සමහර වෘත්තීය සමිතිවලින් මේ ක්‍රියාමාර්ගය තෝරලා තියෙනවා. එයාලට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අයිතිය තියෙනවා. අපි ඒකට බාධා කරන්නෙ නෑ. නමුත් ප්‍රශ්නය විසඳීම සඳහා අපේ පැත්තෙන් ප්‍රවේශය අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා නිශ්චිතවම එකඟවෙලා තියෙනවා. මේ පාර අයවැයෙන් මේ ප්‍රශ්නය විසඳලා දෙනවා කියලා"

කෙසේවෙතත් ඉන්ධන දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (10) සහ අද (11) දින ග්‍රාම සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර තිබේ.

මේ හේතුවෙන් සේවා ලබාගැනීම සඳහා ග්‍රාම සේවා කාර්යාල වෙත පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටියි.

මේ අතර, සිය ගැටලුව සඳහා රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේය.

"අද අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවනි දිනය. දෙවනි දිනය වන විටත් අපේ ගැටලුව සම්බන්ධයෙන් පරිපාලන ප්‍රධානීන් හෝ ආණ්ඩුව තවමත් සංවේදී වෙලා නෑ. මේ ආණ්ඩුවට සහ පරිපාලන ප්‍රධානීන්ට මේ වෘත්තීය ක්‍රියාමාර්ගෙ තාවකාලිකව නවත්තන්න නම් විකල්ප ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ මේ දීමනාව අපිට ලබා දෙනවා කියන්නේ මෙවර අයවැයෙන්. එම දීමනාව අපිට ලැබෙනතුරු තාවකාලික දීමනාවක් ලබාදීමේ හැකියාව ආණ්ඩුවට තියෙනවා. ඒ කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කරලා තාවකාලික දීමනාවක් අයවැය වෙනතුරු ලබාදෙනවා නම් වෘත්තීය ක්‍රියාමාර්ගය අඩියක් ආපස්සට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්වරයාට හැකියාවක් තියෙනවා ප්‍රදේශීය ලේකම්වරු සහා දිසාපතිවරු දැනුවත් කරලා ග්‍රාම නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරී සීමා කරලා චක්‍ර ලේකයක් නිකුත් කරලා ග්‍රාම නිලධාරීන්ට වැඩිපුර ගමන් වියදම් වෙන ඒවා වළක්වන්න. එහෙම නැතිවුනොත් අපි කිසිම අවස්ථාවක මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආපස්සට ගන්න. නැතිවුණොත් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා"