රෝගී සෞඛ්‍යය සමඟ සෙල්ලම් කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලක්

රෝගී සෞඛ්‍යය සමඟ සෙල්ලම් කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලක්

August 9, 2026   10:09 pm

කල්ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, එන්නත් කටු භාවිතය සහ වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් කෑගල්ලේ පෞද්ගලික රෝහලකට එරෙහිව  රුපියල් 520,000ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් බරපතල ලෙස උල්ලංඝනය කරමින් මෙම කටයුතු කිරීමේ වරදට මෙලෙස දඩ නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් මෙම රෝහලට එරෙහිව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 3ක් යටතේ නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය ජූලි 24 වනදා මෙම රෝහල පරිශ්‍රයේ සිදුකළ විශේෂ වැටලීමකදී පහත සඳහන් නීති විරෝධී තත්ත්වයන් අනාවරණය කරගෙන ඇත.

FBC (Full Blood Count) රුධිර පරීක්ෂණයක් සඳහා පාරිභෝගික අධිකාරිය පනවා ඇති රු. 400/- ක පාලන මිල ඉක්මවා රෝගියෙකුගෙන් රු. 500ක මුදලක් අය කර තිබීම.

රෝහල් රසායනාගාරය තුළ කල් ඉකුත් වූ HCV Rapid Test Cassettes ඇසුරුම් 20ක් සහ Clinical System Analyzers සඳහා වන කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය (System Cleaning Solution & Acid Solution) ගබඩා කර තිබීම.

රෝහල් ඖෂධ වෙළෙඳසැල තුළ අලෙවිය සඳහා වූ අනෙකුත් භාණ්ඩ සමඟ කල් ඉකුත් වූ UNOLOK Single use HYPERMIC Needles ඇසුරුම් 23ක් විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම.

මෙම නඩුව පසුගිය 06 වනදා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර රෝහල් ආයතනය තමන්ට එල්ල වූ චෝදනා 3ටම අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ රෝහල වෙත රුපියල් 520,000ක දඩ මුදලක් නියම කරන ලදී.

මහජනතාවගේ සෞඛ්‍යයට සහ ජීවිතවලට සෘජුවම තර්ජනයක් වන පරිදි කල් ඉකුත් වූ ඖෂධ, රසායනික ද්‍රව්‍ය හෝ වෛද්‍ය උපකරණ භාවිත කරන, සහ පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන මෙවැනි පෞද්ගලික රෝහල් හෝ රසායනාගාර පිළිබඳව තොරතුරු වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.