බන්ධනාගාරවල ගැටුම් ගැන සාකච්ඡාවට අදාළ ආයතන ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බන්ධනාගාරවල ගැටුම් ගැන සාකච්ඡාවට අදාළ ආයතන ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

August 9, 2026   12:23 pm

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව තිබේ.

මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.

ඒ අනුව, අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් ලබන 18 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන නිමල් පුංචිහේවා මහතා,

“බන්ධනාගාරවල සිදුවීම් බොහොම කනගාටුදායක සිදුවීමක්. මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට ඒ පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් පිළිබඳව විමර්ශන ආරම්භ කරලා බොහෝ දුරට විමර්ශන කටයුතු ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අනිත් බන්ධනාගාර මහර, ඒ වගේම ඊට පස්සේ ඇති වුණු සිද්ධීන් පිළිබඳව දැනට කොම්සම් සභාව විමර්ශනය කරගෙන යනවා...”
 
මේ අතර බන්ධනාගාර රැඳවියන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබාදීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වන්නේ නම් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමට සිදුවන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දන වීරතුංග මහතා,

“මුලික අයිතීන් රැඳවියන්ගේ මේ වෙනකොට උල්ලංඝනය වෙලා. මේ සිරකරුවන්ට ලැබෙන්න තියෙන මුලික අයිතීන් ටික ලබලා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි රස පරීක්ෂණ වාර්තා එන්නේ නැතුව ඇප පිට විශාල පිරිසක් බන්ධනාගාරගත වෙලා තියෙනවා. අවුරුදු ගණන් බලාගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි රජයට කියනවා කරුණාකරලා මේ යාන්ත්‍රණය හරියට හරි ගස්සලා මේ රටේ බන්ධනාගාර සියල්ල ඉදිරියේ මෙවැනි තත්ත්වයක් නොවෙන්න ආණ්ඩුව වගබලා ගත යුතුයි. එසේ නොවන්නේ නම් මේක අපිට ජාත්‍යන්තර ජිනීවා මානව හිමිකම් මුලස්ථානය දක්වා ගෙනියන්න සිදුවේවි. නීතිය හරස් වෙනවා නම් නීති ගෙනල්ලා හෝ මේක කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”