පැය 24ක් ඇතුළත බන්ධනාගාර 3ක් ඇවිළුණු හැටි
August 7, 2026 08:18 pm
පැය 24ක කාලයක් තුළ දිවයිනේ බන්ධනාගාර 3ක දරුණු ගැටුම් සහ නොසන්සුන්තා ඇතිවී රැඳවියන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම තවත් රැඳවියන් රැසක් ගැටුම්වලින් තුවාල ලබා තිබේ.
මේ අතරින් මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් එහි දේපළවලට ද හානි කරමින් දැඩි කලහකාරී ලෙස හැසිරුණු අතර තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කෙරිණි.
මීගමුව, දළුපොත පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය තුළ අද (07) පෙරවරු 08ට පමණ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
එළිමහන් සිරකඳවුරක් වශයෙන් පවතින මෙහි, මතට ඇබ්බැහි වූවන් රඳවා සිටින අතර ඒ අතරින් පිරිසක් ගොඩනැගිල්ලක වහලය මත නැග නිලධාරීන්ට ගල් ගසමින් විරෝධතාවක නිරත විය.
ඔවුන් එලෙස විරෝධතාවයේ නිරතවී ඇත්තේ කඩිනමින් නඩු වාර්තා කැඳවා සිය නඩු කටයුතු ඉක්මන් කරන්නැයි බලකරමිනි.
පසුව ඔවුන් බන්ධනාගාරයේ ඇතුළත ඇති ප්‍රධාන දොරටුව දක්වා පැමිණ විරෝධය පළකළේය.
බන්ධනාගර නිලධාරීන් පැමිණ ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළද එය ද සාර්ථක වූයේ නැහැ.
කලහකාරීව හැසිරුණු රැඳවියන් පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ද කැඳවනු ලැබීය.
අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් විශෝධන මධ්‍යස්ථානයට ඇතුළුවූ අවස්ථාවේ රැඳවියන් නිලධාරීන්ට යළිත් ගල්මුල් ප්‍රහාර එල්ල කළේය.
ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්තේය.
ඒ සමග රැඳවියන් පිරිසක් විශෝධන මධ්‍යස්ථානයේ දේපළවලට හානි කරමින් කලහකාරීව හැසිරී තිබේ.
ඔවුන් මධ්‍යස්ථානය ඇතුළත බිත්තියක් ද කඩා දමා ඇත.
විශෝධන මධ්‍යස්ථානය තුළට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පිවිසී සිදුකළ පැය කිහිපයක මෙහෙයුමකින් පසු නොසන්සුන්තාව පාලනය කිරීමට ඔවුන් සමත් විය.
පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් පසු එම බන්ධනාගාරයෙන් මෙම ස්ථානයට මාරු කෙරුණු රැඳවීයන් පිරිසක් ද මෙහි රඳවා සිටී.
මේ අතර සිද්ධිය සැලවූ රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් විශෝධන මධ්‍යස්ථානය ඉදිරිපිටට පැමිණ සිටියේය.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ගිය බවය.
මේ අතර කුරුවිට බන්ධනාගාරයේ ද අද (07) අලුයම නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
එහිදී රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
පලායාමට තැත්කළ රැඳවියෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් මෙම නොසන්සුන්තාව ඇති වූ බව පොලිසිය සඳහන් කළේය.
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියෙකු අද අලුයම ඉන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අතර අද උදෑසන ආහාරය සඳහා රැඳවියන් සිර මැදිරිවලින් පිටතට ගත් අවස්ථාවේ ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබේ.
ඒ අතරතුරදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් ප්‍රහාර එල්ලකර ඇති බව සඳහන්.
ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ට විරෝධය පළකර ඇත්තේ, අලුයම පලායාමට උත්සාහ කළ රැඳවියාට පහරදුන් බව පවසමිනි.
පසුව තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් කඳුළුගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ පසුව අවම බලය යොදා වෙඩිතැබීමෙන් පසු බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කළ බවය.
පසුව බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදවනු ලැබීය.
ඒ අනුව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැඳවියන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී රැඳවියන් පවසා ඇත්තේ, අධික තදබදය හා නඩු කටයුතු ප්‍රමාදවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් තමන් විරෝධාතාවයේ නිරත වූ බවය.
පසුව නියෝජ්‍ය පොලිස්පතිවරිය තත්ත්වය සමතයකට පත්කරමින්, රැඳවියන් ඔවුන් රැඳීසිටි සිරමැදිරිවලට යොමුකර බන්ධනාගාරයේ පාලනය බන්ධනාගාර නිලධාරීන්වෙත භාරදී තිබේ.
මේ අතර රැඳවියන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම ගැටුම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති බව ද පොලිසිය පැවසීය.
රැඳවියන් 350ක් පමණක් යෙදවිය හැකි කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවන අවස්ථාවේදී රැඳවියන් 1297ක් රඳවා සිට තිබේ.
මෙවැනි පසුබිමක බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දසදෙනෙක් තුවාල ලැබීය.
බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ නොසන්සුන්තාවක් ඇතිව තිබුණි.
ඒ, යම් පාර්ශ්වයක් පිටත සිට බන්ධනාගාර පරිශ්‍රයට විසිකළ හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.
එම අවස්ථාවේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනයකර ඇති අතර පසුව රැඳවියන් 45ක පමණ පිරිසක් සිර මැදිරියක් කඩා පිටතට පැමිණ තිබේ.
පොලිසිය පවසන්නේ ඉන් බහුතරය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ''කොස්මල්ලි'' නැමැත්තාගේ සහායකයින් බවය.
නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස බන්ධනාගාර ගේට්ටුවෙන් පිටතට යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් තත්ත්වය පාලනයට දැඩි උත්සාහයක් දරා තිබුණි.
පසුව තත්ත්වය පාලනය සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද යොදවා තිබේ.
එහිදී බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට රැඳවියන් තර්ජනය කරඇත්තේ බන්ධනාගාරයෙන් පිටතට පැමිණ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඝාතනය කරන බව පවසමිනි.
කෙසේවෙතත් පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් තත්ත්වය පාලනයට පියවර ගෙන තිබුණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා බන්ධනාගාරයේ ආරක්ෂාව තර කළ බවය.
මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති 35 හැවිරිදි අයෙකි.
ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙකි.
එමෙන්ම ''හෝමාගම හඳයා'' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතින බව පැවසේ.
එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කෙරුණේද මෙම පුද්ගලයා වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් දසදෙනෙක් ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් ක
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවය.
බන්ධනාගාර කිහිපයකම ඇතිවූ මෙම නොසන්සුන්තා හේතුවෙන් දිවයිනේ සෙසු බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමටද පියවර ගෙන තිබුණි.
