මීට පෙර කිසි දිනක දැක නැති සූර්යයාගේ අපූරු හා ඉතා පැහැදිලි ඡායාරූප එකතුවක්

මීට පෙර කිසි දිනක දැක නැති සූර්යයාගේ අපූරු හා ඉතා පැහැදිලි ඡායාරූප එකතුවක්

August 6, 2026   06:25 am

ලෝකයේ බලවත්ම සූර්ය දුරේක්ෂය භාවිතා කරමින් විද්‍යාඥයන් විසින් සූර්යයාගේ පෘෂ්ඨයේ මෙතෙක් දැකගත නොහැකි වූ, ඉතා පැහැදිලි සහ විස්මිත ඡායාරූප හා දර්ශන පෙළක් කැමරාවට නගා තිබේ. 

මෙම නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන මඟින් සූර්යයා මතුපිට ක්‍රියාත්මක වන "සුළි සුළං"  වැනි ස්වභාවයක් පෙන්වන ක්‍රියාකාරීත්වයන් මනාව අනාවරණය කර ගෙන ඇත. 

උණුසුම් වායු ධාරාවල චලනයන් හේතුවෙන් සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය මෙලෙස හැරවීමට හා ගමන් කිරීමට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙලෙස අඛණ්ඩව සිදුවන කැළඹිලි ස්වභාවය සූර්යයාගෙන් මතුවන බලශක්ති විමෝචනයන් පිටුපස ඇති ප්‍රධාන බලවේගයක් වන අතර, එමඟින් නිර්මාණය වන අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන් (Space weather) පෘථිවියේ විදුලිබල පද්ධති සහ චන්ද්‍රිකා වෙත දැඩිලෙස බලපෑම් ඇති කිරීමට, ඇතැම් විට අභ්‍යවකාශගාමීන්ට පවා අනතුරුදායක තත්ත්වයන් ඇති කිරීමට සමත් වේ.  

එමෙන්ම, අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන් පුරෝකථනය කරමින් ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා සූර්යයා පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද ජාතික සූර්ය නිරීක්ෂකාගාරයේ (NSO) ආචාර්ය ඩේවිඩ් බොබෝල්ට්ස් (Dr David Boboltz) ප්‍රකාශ කරයි.

හවායි දූපත්හි පිහිටි බලවත් දුරේක්ෂයක මෙහෙයුම'නෙචර්' (Nature) විද්‍යාත්මක සඟරාව මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති මෙම නවතම සොයාගැනීම් සිදු කර ඇත්තේ, හවායි දූපත්හි (Hawaii) දූවිලි වලින් තොර පැහැදිලි අහසක් සහිත උස් කඳු මුදුනක ඉදිකර ඇති ඉනූයි සූර්ය දුරේක්ෂය (Inouye Solar Telescope) ආධාරයෙනි.

සූර්යයාගේ මතුපිටට ඉතා සමීපව නිරීක්ෂණය කරමින් මෙම විද්‍යාඥ කණ්ඩායම සූර්යයා මතුපිට ඇති කැරකෙන සුළි ආකාරයේ රටාවන් ඉතා පැහැදිලිව පටිගත කර ගැනීමට සමත්ව ඇත.

මෙමඟින් සිදුවන ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් NSO හි තාරකා විද්‍යාඥ ආචාර්ය ඩේවිඩ් කුරිඩ්ෂේ (Dr David Kuridze) සඳහන් කළේ, "මෙම කැරකෙන චලනයන් මඟින් චුම්භක ශක්තිය නිර්මාණය වන අතර, ඒවා තවදුරටත් එකතු වීමෙන් මහා පරිමාණ පිපිරීම් ඇති විය හැක" යනුවෙනි.

විනාශකාරී අභ්‍යවකාශ කාලගුණ විපර්යාස විද්‍යාඥයන් සූර්යයා මතුපිට සොයාගත් මෙම සංසිද්ධිය විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ "කෙල්වින්-හෙල්ම්හෝල්ට්ස් අස්ථාවරත්වය" (Kelvin-Helmholtz instability) යනුවෙනි.  

මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් සිදු වන්නේ තරල (මෙම අවස්ථාවේදී උණුසුම් වායු හෝ ප්ලාස්මා) එකිනෙක පසු කරමින් ගමන් කිරීමේදී ඇති වන කුඩා බාධා හේතුවෙන් ක්‍රමයෙන් විශාල σvortex හෝ සුළි ආකාරයේ හැඩයන් බවට පත්වීමෙනි. 

නිදසුනක් ලෙස, සාගරයේ රළ පහරක් යෝධ සහ බලවත් රළ බවට හැරෙන ආකාරය මීට සමාන කළ හැක.

සූර්යයාගේ මතුපිට මෙම සංසිද්ධිය තහවුරු කරගැනීම මඟින් අභ්‍යවකාශ කාලගුණයේ ගතිකත්වය පමණක් නොව, සූර්යයාගේ පෘෂ්ඨය මෙතරම් උණුසුම් වීමට හේතුව කුමක්ද යන්නත් පැහැදිලි වන බව NSO හි ආචාර්ය ෆ්‍රීඩ්රිච් වොගර් (Dr Friedrich Woeger) පෙන්වා දෙයි.

මෙහිදී සූර්ය වායුගෝලයේ ඉහළ ස්ථර වෙත ශක්තිය ප්‍රවාහනය වන ආකාරය මනාව පෙන්නුම් කෙරෙන අතර, ඉහළ ස්ථරවල ප්‍රමාණවත් තරම් ශක්තියක් එකතු වූ විට, එය සූර්ය ගිනිදැල් (Solar flares) හෝ කිරණ විමෝචනයන් (Coronal mass ejections) ලෙස පිටතට මුදා හැරේ.  

මිනිස් දැනුම පුළුල් කරන සුවිශේෂී පරීක්ෂණයක්අභ්‍යවකාශ කාලගුණයෙන් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට ඇති ප්‍රායෝගික අවශ්‍යතාවට අමතරව, මෙම නව සොයාගැනීම් හරහා සූර්යයා යනු "අද්විතීය විද්‍යාගාරයක්" බව යළිත් තහවුරු වන බව ආචාර්ය බොබෝල්ට්ස් වැඩිදුරටත් සඳහන් කළේය.

"සූර්යයා යනු අපට ඇති ආසන්නම තාරකාවයි. එය මූලික භෞතික විද්‍යා නීති තේරුම් ගැනීමට අපට උපකාරී වේ," ඔහු පැවසීය.

අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදයේ පළමු පර්යේෂණාත්මක සාක්ෂිය ලැබුණේද සූර්යග්‍රහණ නිරීක්ෂණ හරහාය. එබැවින්, හුදෙක් මානව දැනුම වර්ධනය කර ගැනීම වෙනුවෙන්ම අපට මෙවැනි පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ.