අගමැති මෝදිගේ Facebook සටහන අවහිර කරාට Meta සමාගම සමාව ඉල්ලයි
August 5, 2026 09:45 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමාජ මාධ්‍ය සටහනක් මෙටා ආයතනය විසින් තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන්, එම සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයෙල් කප්ලාන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයාගෙන් සමාව අයැද තිබේ.
ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අගමැති මෝදිගේ සටහන වැරදි ලෙස අවහිර වීම සම්බන්ධයෙන් මෙටා සමාගම වෙනුවෙන් තමා අමාත්‍යවරයා වෙත අවංකවම සමාව අයැද සිටින බවය.
මෙහෙයුම් දෝෂයක් හේතුවෙන් අදාළ සටහන නොදැනුවත්වම අවහිර වූ බව මෙටා සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
මීට අමතරව, ළමා අපචාර ද්‍රව්‍ය (CSAM),ඩීප්ෆේක් (Deepfake) අන්තර්ගතයන් සහ මෙහෙයුම්මය දුර්වලතා සම්බන්ධයෙන් මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ද ඉන්දීය රජයෙන් සමාව අයැද ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය රජයේ නිලධාරීන් සහ මෙටා විධායක නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම සමාව අයැදීම සිදු කර තිබේ.
පසුගිය කාලය තුළ ජාතික විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මතුවූ දැවැන්ත තරුණ විරෝධතා රැල්ලත් සමඟ අගමැති මෝදිට එරෙහිව අන්තර්ජාලය හරහා විවිධ විවේචන සහ අපහාසාත්මක වීඩියෝ පට සංසරණය වී තිබුණි.
එමෙන්ම, ඉන්ස්ටග්‍රෑම් වේදිකාවේ ළමා අපචාර ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන දැන්වීම් සහ අන්තර්ගතයන් ඉවත් කරන ලෙස පසුගිය ජූලි මාසයේදී ඉන්දීය රජය මෙටා සමාගමට දැඩි නියෝගයක් නිකුත් කර තිබුණි.
ළමා අපචාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් (Zero-tolerance policy) අනුගමනය කරන බවත්, ඒවා හඳුනා ගැනීමේ පද්ධති තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බවත් මෙටා සමාගම එහිදී ප්‍රකාශ කර තිබුණි.
