නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කළ දෙදෙනෙකු කොටුවෙයි
August 5, 2026 05:47 pm
ශ්රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස බලපත්ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඩිංගි යාත්රාවක් සහ මුහුදු කූඩැල්ලන් 4,900ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අනුව, ඊයේ (04) උතුරු මැද නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, ඉලුප්පු කඩවායි අන්තෝනිය පුරම් වෙරළ ප්රදේශය ආවරණය වන පරිදි සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදී සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරීක්ෂාවට ලක්කෙරිණි.
එහිදී, නීතිවිරෝධී ලෙස බලපත්ර නොමැතිව ගොඩබිම වෙත ප්රවාහනය කරමින් සිටි එම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගන්නා ලදී.
සැකකරුවන් අවුරුදු 33ක් සහ 39ක් වන ඉලුප්පු කඩවායි ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.
සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.
