දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471ක් - රු. ලක්ෂ 22කට අධික දඩ

දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471ක් - රු. ලක්ෂ 22කට අධික දඩ

August 5, 2026   04:39 pm

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී මෙම වසරේ මේ වන විට දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471ක් ක්‍රියාත්මක කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළ පරිදි, 2026 ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලය තුළ ඖෂධ සැල් 362ක වැටලීම් සහ විමර්ශන සිදු කර ඇති අතර, පසුගිය දින 2ක තුළ  (03 සහ 04 ) ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන යටතේ ඖෂධ සැල් 109ක් පරීක්ෂාවට ලක් කර සාර්ථක වැටලීම් 86ක් සිදු කර ඇත.

මෙම විශේෂ විමර්ශනවලදී නීති විරෝධී ක්‍රියාකාරකම් රැසක් අනාවරණය වී තිබේ.

එනම්, කල් ඉකුත් වූ ඖෂධ සහ ඖෂධීය නිෂ්පාදන අලෙවිය සඳහා තබා ගැනීම, පාරිභෝගිකයාට අනිවාර්ය තොරතුරු නොමැති ඖෂධ අලෙවි කිරීම, නියමිත පාරිභෝගික තොරතුරු ඇතුළත් කිරීමේ නීති උල්ලංඝනය කිරීම සහ ඖෂධ, වෛද්‍ය උපකරණ, ළදරු නිෂ්පාදන සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධ නීති කඩකිරීම් මේ අතර වේ. 

මෙම වැටලීම්වලදී කල් ඉකුත් වූ ඖෂධ පෙති, එන්නත්, සිරින්ජ, ක්‍රීම් වර්ග, ළදරු නිෂ්පාදන, ගර්භණීභාවය පරීක්ෂා කිරීමේ කට්ටල ඇතුළු වෛද්‍ය උපකරණ සහ පාරිභෝගික භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇත.

එලෙස පවරන ලද නඩු සඳහා අධිකරණ මගින් රුපියල් 2,269,500.00ක දඩ මුදලක්ද නියම කර තිබේ.

ඖෂධ හෝ සෞඛ්‍ය ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී ඒවායේ කල් ඉකුත් වන දිනය, ලේබලය සහ අනෙකුත් අනිවාර්ය පාරිභෝගික තොරතුරු හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යම් හෙයකින් නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ ඒ බව අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද දන්වා සිටී.