ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට වූ නඩු තුනක් සමථයකට පත් කිරීමට TikTok එකඟ වෙයි

ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට වූ නඩු තුනක් සමථයකට පත් කිරීමට TikTok එකඟ වෙයි

August 4, 2026   03:07 pm

සමාජ මාධ්‍ය වේදිකාවට ඇබ්බැහි වන ආකාරයට නිර්මාණය කරමින් තරුණයන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදු කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබූ නඩු තුනක් සමථයකට පත් කිරීමට TikTok එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දේපාර්ශවය සමථයට පත්වීමට එකඟ වූ කොන්දේසි රහසිගත වන අතර, TikTok සමඟ ලිඛිත ගිවිසුම් අවසන් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වන බව පැමිණිලි කරුවන්ගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

මෙම නඩු තුන කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණයේ ගොනු කර ඇති සමාන නඩු 3,300කට ආසන්න සංඛ්‍යාවකින් තෝරාගත් පරීක්ෂණ නඩු ලෙස සැලකේ.

කෙසේ වෙතත්, Meta Platforms, Google සතු YouTube සහ Snap Inc. සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු විභාගය ඉදිරියටත් පැවැත්වෙන අතර, එහි නඩු විභාගය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම නඩු ගොනු කර ඇත්තේ වයස අවුරුදු 15 සහ 18 අතර තරුණයන් තිදෙනෙකු විසින් වන අතර, එම සමාජ මාධ්‍ය වේදිකා අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් කාංසාව, මානසික අවපීඩනය, ස්වයං හානිකර ගැනීම් සහ ආහාර ගැනීමේ ආබාධ වැනි මානසික සෞඛ්‍ය ගැටලු ඇති වූ බව ඔවුන් චෝදනා කර තිබේ.

අදාළ සමාගම් සියල්ලම එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, තරුණ පරිශීලකයින්ගේ ආරක්ෂාව සඳහා පුළුල් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.