ඛනිජ සම්පත් කැණීම හා ප්‍රවාහනය විධිමත් කිරීමට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

ඛනිජ සම්පත් කැණීම හා ප්‍රවාහනය විධිමත් කිරීමට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

August 3, 2026   09:07 pm

‍ෙකළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි ඇතුළු ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2021 වසරේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ මෙහෙයුම් මාර්ගෝපදේශ ද ඇතුළත් කරමින් මෙම නව චක්‍රලේඛය සකස් කර ඇති බවය. 

එය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ගැටලු අවම කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ඔහු පැවසීය.

ඛනිජ සම්පත් සඳහා අය කෙරෙන ගාස්තු ඒකාකාරී කිරීමේ වැඩපිළිවෙළක් ද හඳුන්වාදෙන අතර, දිස්ත්‍රික්කය අනුව වෙනස් නොවන පොදු ගාස්තු ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

එම ක්‍රමය 2026 සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර, බලපත්‍රලාභීන්ට එක් ස්ථානයකදී සියලු ගාස්තු ගෙවිය හැකි පරිදි ක්‍රමවේදය සරල කිරීම එහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන අය කරන ගාස්තු ඇතුළු ඇතැම් ගාස්තු මධ්‍යම රජය හරහා ඒකාබද්ධව අය කිරීම සම්බන්ධ නීතිමය සහ පරිපාලනමය කරුණු තවදුරටත් සමාලෝචනය කෙරෙන බව ද මෙහිදී අනාවරණය විය.