මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිදු වූ හානිය රුපියල් කෝටි 15ක්

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිදු වූ හානිය රුපියල් කෝටි 15ක්

August 2, 2026   08:24 pm

මහර බන්ධනාගාරය තුළ ඊයේ (1) ඇතිවූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ. ගැටුම හේතු සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙහිදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියේ, රැඳවියන් බන්ධනාගාරයේ දේපොළ රැසක් විනාශ කර ඇති බවය. බොහෝ ගොඩනැගිලිවල උළු බිඳී, වහලට දැඩි ලෙස හානි සිදුකර ඇති බවත්, බන්ධනාගාර පුනරුත්ථාපන වැඩසටහන්වලදී මැහීම් කටයුතු සඳහා භාවිත කරන උපකරණ රැසක් රැඳවියන් විනාශකර තිබූ හෙළිවී ඇත.

සිද්ධිය ඇතිවූ ඊයේ මධ්‍යම රාත්‍රීය වනතුරුම රැඳවියන් බන්ධනාගාර පරිශ්‍රයේ සිට පිටතට ගල් මුල් ප්‍රහාර එල්ලකර තිබේ. එම ගල‍් ප්‍රහාර නිසා බන්ධනාගාරය අවට නිවාස කිිහිපයකටත් හානි ව ඇත.

පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, මෙම නොසන්සුන්කාරී තත්ත්වය මෙහෙයවා ඇත්තේ සාතන්, අසාර්, පැට්ටා සහ තවත් රැඳවියෙකු එකතු වී බවය.

නොසන්සුන්තාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් හඳුනාගෙන, ඔවුන් අතරින් 104 දෙනෙකු බූස්ස ඇතුළු තවත් බන්ධනාගාර 7ක් වෙත මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද දහවල් පියවර ගත්තේය.

රැඳවියන් 4,100කට අධික පිරිසක් රඳවා සිටින මහර බන්ධනාගාරයේ ඊයේ ප.ව. 4ට පමණ මෙම නොසන්සුන්තාව හටගත් අතර, පැය 13කට අධික කාලයකින් පසු අද උදෑසන 6 පමණ වනවිට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකිවිය.

කෙසේ නමුත් මෙම නොසන්සුන්තාවෙන් එක් රැඳවියෙකු මියගිය අතර, තවත් රැඳවියන් 9 දෙනෙකු තුවාල ලැබූහ. මරණයට පත්ව ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක්ය. ඔහු යතුරුපැදියක් සොරකම් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකු බව වාර්තා වේ.

බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය හුවමාරුවීම පාලනයට දැඩි පියවර ගෙන තිබීමෙන් මේ දිනවල මත්ද්‍රව්‍ය හිඟවීම මත මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇතිව ඇති බව වාර්තා වේ.

ඊයේ පෙරවරුවේ රැඳවියන් සිව්දෙනක් වහලයකට නැග, බන්ධනාගාර පාලනාධිකාරියට විරෝධය පළකර තිබූ අතර, එම අවස්ථාවේදී බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැමිණ මේ සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් කරුණු විමසා ඇති බව සඳහන්ය.

නමුත් එහිදී එහි සිටි රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල් ප්‍රහාර එල්ල කර ඇත. එම අවස්ථාවේදී නිලධාරීන් එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇති අතර, බන්ධනාගාර රෝහලේ ඇති ඖෂධ, මුළුතැන්ගෙයහි ඇති තියුණු ආයුධ සහ ගිනිඅවි ගබඩාවේ ඇති අවි ඇතුළු උපකරණ ආරක්ෂිතව එම ස්ථානවලින් ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.

මේ අතරවාරයේ තවත් රැඳවියන් 1,500ක පමණ පිරිසක් බන්ධනාගාරයේ එක් පසෙක ඉදිකෙරෙමින් පවතින තාප්පය බිඳ පලායාමට උත්සාහ දරා ඇත. එම උත්සාහය ව්‍යර්ත කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

කෙසේ නමුත් එම අවස්ථාවේ තවත් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනිතබා ඇත. පසුව ඉන් පිරිසක් බන්ධනාගාරයේ රැඳවියන් සතුව තිබී, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ගබඩාකරන ගොඩනැගිල්ල කඩා එහි තිබූ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවද වාර්තා සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙවැනි පසුබිමක තවත් රැඳවියන් පිරිසක්, සෙසු පිරිස් රඳවා ඇති වාට්ටු වෙත ගොස් එහි ඉබි යතුරු කඩා ඔවුන්ටත් එම සිර මැදිරිවලින් පිටතට ඒමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අතරින් පිරිසක් සිර මැදිරිවලින් පිටතට පැමිණෙද්දී, තවත් රැඳවියන් පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් රැඳී සිටි සිර මැදිරිවල රැඳි සිට ඇත. එම අවස්ථාවේදී ඔවුන්ට නොසන්සුන්තාවය මෙහෙය වූ රැඳවියන් පැමිණ පහර දී ඇති බවද වාර්තා වේ.