මහර බන්ධනාගාරයේ සිද්ධිය නිරීක්ෂණයට බෙල් 412 ගුවන් යානයක් යොදවයි
August 1, 2026 09:25 pm
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇතැයි ගුවන් හමුදාව පවසයි.
අද (01) පස්වරුවේ මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් ඇති වූ අතර එහිදී රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම මේ වන විට බන්ධනාගාරය අවට රැඳවියන්ගේ ඥාතීන්ද එක්ව ඇති අතර ඔවුන් අතරද යම් නොසන්සුන්තාවක් හටගෙන තිබූ බවත් වාර්තා වේ.
මෙම පවතින තත්ත්වයන් තුළ බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇති අතර එමගින් ඇතුළත තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවද ගුවන් හමුදාව පවසයි.
